දුම්රිය මගී තදබදය අඩුකර මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160 ක් ගෙන්වීම ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා පවසයි.
සාමාන්‍යාධිකාරිවරයා මේ බව සඳහන් කළේ “දුම්රිය සේවය සංවර්ධනය පිණිස ගෙන ඇති පියවර” පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි. ප්‍රවෘත්ති සාකච්ඡාව අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඇණවුම් කළ දුම්රිය මැදිරි වලින් 50 ක් දැනටමත් ලැබී තිබේ. සෙසු මැදිරි සංඛ්‍යාව ද ගෙන්වා ගනු ලැබේ. දුර ගමන් ගමන් සඳහා ආසන 550 ක වායුසමනය කළ දුම්රියක් ආනයනයට සැලසුම් කර ඇති බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
වත්මන් මාර්ග තදබදයට ඇති ප්‍රායෝගික විසඳුමක් ලෙස දුම්රිය සේවය වැඩිදියුණු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරිවරයා මේ සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් හඳුනාගෙන ඇති බව කීවේය. ඒ අතර ප්‍රධාන දුම්රිය මාර්ගය බත්තරමුල්ල දක්වා දීර්ඝ කිරීම, විදුලි දුම්රිය ලංකාවට හඳුන්වා දීම මුල් තැනක් ගනී. රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන ගැටලුවලට හා කොළඹ තදාසන්න ප්‍රදේශවල උදෑසන මාර්ග තදබදයට විසඳුමක් ලෙස අග නගරය තෙක් දුම්රිය මාර්ග දීර්ඝ කළ යුතු බව හඳුනාගෙන ඇත. වත්මන් දුම්රිය මගීන්ගෙන් සියයට හැත්තෑවක් පමණ අයත් වන පානදුර සිට වේයන්ගොඩ හා පොල්ගහවෙල සිට කළුතර දක්වා ප්‍රදේශවල ගමනාගමනය කරන මගීන් සඳහා විදුලි දුම්රිය හඳුන්වා දීමටද අපේක්ෂිතය. ඒ මගින් දැනට එම ප්‍රදේශ ආවරණය කරමින් ප්‍රවාහනය කරන මගී සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ දක්වා වැඩි කළ හැකි වේ.
පොල්ගහවෙල සිට කුරුණෑගල හා මහව දක්වාද දකුණු පයාගල සිට අලුත්ගම දක්වාද කැලණිවැලි මාර්ගයේ හෝමාගම දක්වාද ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීම කටයුතු අරඹා තිබේ.
සංචාරක ව්‍යාපාරයේදී ලාංකීය දුම්රිය සේවාවට විශේෂ ස්ථානයක් හිමිවන බව සඳහන් කළ සාමාන්‍යාධිකාරිවරයා වර්ෂ 1864 දී කොටුව – අඹේපුස්ස දක්වා ලංකාවේ පළමු දුම්රිය ධාවනය සංකේතවත් කරමින් නගර දෙක අතර ගල් අඟුරු දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය. දේශීය විදේශීය සංචාරක ආකර්ෂණ දිනා ගැනීම මෙහි අරමුණයි. කොරෝනා වසංගත නිසා මගී දුම්රිය ධාවනය දැන් සිදු නොවූවද ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා දිනකට දුම්රිය 8 ක් ධාවනය වන බව සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. ඉදිරියේදී සංචරණ සීමා ඉවත් කිරීමේදී රජය දෙන උපදෙස් මත පළාත් තුළ මෙන්ම අන්තර් පළාත් දුම්රිය ධාවනයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා අවධාරණය කළේය