පෞද්ගලික ආරක්ෂක සේවාවන් සේවාවන්හි නියුතු ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 දක්වා වැඩි කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේබව සඳහන් කළේ අමාත්‍යාංශයේදී ඉකුත් (01) පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි සේවක නියෝජිතයන් කීපදෙනකු සමඟ පැවති සාකච්ඡාවකදිය.ඒ අනුව ඉකුත් අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා කියා සිටියේය. මෙතෙක් පෞද්ගලික ආරක්ෂක අංශ අවම වැටුප පැවතියේ රු.10,500 ක්විය.
ජාතික අවම වේතන සංශෝධනය අනුව අවම වේතනය රු. 12,500 සහ අයවැය සහන දීමනා රු.3500 එක්වීම සමඟ පෞද්ගලික අංශයේ අවම වේතනය රු.16,000 දක්වා වැඩිවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම පඩිපාලක සභා නීතියට අනුව පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෛනික සේවා කාලය කෑම පැය සමඟ පැය නවයකි.ඉන් ඔබ්බෙහි සේවය ලබා ගන්නේ නම් ඊට අතිකාල ගෙවිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
මෙම පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කරන බහුතරයක් දෙනා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් බවත්, තමන්ට වෛද්‍ය හෝ අනියම් නිවාඩු නොලැබෙන බවත් ඔවුන් ප්‍රකාශ කළහ. එහි දි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්නා නීතිවලට අනුකූලව අදාල නිවාඩු ද මෙම සේවකයන්ට හිමිවන බවත්,මෙම සම්මත නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට පැමිණිලි කරන ලෙසය.
මෙම වැටුප් වැඩි කිරීමට අදාල යම් හිඟ වැටුපක් ගෙවීමට ඇත්නම් ඒ සඳහා එම ආරක්ෂක සමාගම්වලට සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව ද ඇමතිවරයා මෙහි දී දැනුම්දුන්නේය.
මෙම සාකච්ඡාවට පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි නිරත රණවිරුවන් වෙනුවෙන් එස්.එම්.කේ.සමරනායක මහතා ඇතුළු කිහිප දෙනෙකු එක් වූහ.