2006 වසරේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප, වැටුප් පරිමාණ අනුපාතයකට පිහිටුවීමට පෙර සියලු රාජ්‍ය සේවකයින් අතර දැඩි නොසන්සුන්තාවයක් පැවති අතර විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග දාමයක නියැලුණු වකවානුවක් තිබුණි.
එහිදී දින 365 න් දින 187 ක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් වෘත්තීය සමිතියක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නියැලුණු අතර වෘත්තීය සමිතියේ ප්‍රභලත්වය අනුව අත්තනෝමතික ලෙස කැබිනට් පත්‍රිකා මඟින් වැටුප් වැඩිකර ගැනීම සිදු විය.
2003 වසරේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවකට අනුව ජාතික වැටුප් ප්‍රතිපත්තිය සෑදීමට ලබා දුන් තාක්ෂණික දායකත්වයත් සමඟ ජාතික වැටුප් කොමිෂන් සභාව පිහිටුවීම නිසා එමඟින් 2006 වසර වන විට ජාතික වැටුප් ප්‍රතිපත්තිය එළි දැක්වීමට හැකි විය. 2006 වසරේදි ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකසා අවසන් වීමත් සමග සිදුවෙමින් පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දාමය අඩු වූවා පමණක් නොව රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් ජනතාවට සිදු වූ අපහසුතාවය අවම කර ගැනීමට හැකි විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප පෙන්වා දෙනුයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්තින් වල අඩු පාඩු ඇත්නම් ඒවා විනාශ නොකර අඩුපාඩු නිවැරදි කර ගැනිම තුලින් එම ප්‍රතිපත්ති ආරක්ෂා කර අප බලාපොරොත්තු වන ප්‍රතිපත්ති ගරුක සමාජය බිහි කළ හැකි බවයි.
වැටුප් පිළිබඳ යම් කිසි යෝජනාවක් හෝ විෂමතාවක් නිවැරදි කිරීමට අවශ්‍ය නම් එම යෝජනා තාක්ෂණිකව අධ්‍යයනය හා අනුමැතිය සඳහා ජාතික වැටුප් කොමිෂන් සභාවට ඉදිරිපත් කර, එමඟින් රාජ්‍ය සේවයේ තිරස් හා සිරස් කාණ්ඩ වලට බලපෑම් සිදු නොවන ලෙස ලැබෙන නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේත්, මුදල් අමාත්‍යංශයේත් අනුමැතියට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.
නමුත් ඉතා අවාසනාවන්ත ලෙස පසුගිය රජය සමයේදී ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීති ක්ෂේත්‍රය තුල සිදු කල වැටුප් සංශෝධන නිසා රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඒ සඳහා විරෝධතාවය දක්වමින් එය නිවැරදි කරන ලෙස පසුගිය වසර 4 ක කාලයක සිට ඉල්ලා සිටියි. මෙම තත්ත්වය තවදුරටත් බරපතල කරමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා නොකරමින් ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව විසදීමට කටයුතු කළහොත් නැවතත් 2003 යුගයට පෙර පැවති ලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දාමයකට මඟ පෑදිය හැක.
එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිනයේ දී අතිගරු ජනාධිපතිතුමන් හට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා වන ලෙස මේ වන විට විවිධ ක්ෂේත්‍ර වල උද්ගතව ඇති සියළු වැටුප් සහ වැටුප් විෂමතා ගැටළු නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසය.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අගෝස්තු මාසයේ දී 2022 වර්ෂය සඳහා වූ අයවැය වෙනුවෙන් ලබාදුන් යෝජනා වලදී ද ඉල්ලා සිටියේ වැටුප් පරිමාණ අනුපාතය ඉහළ නංවමින් ජාතික වැටුප් ප්‍රතිපත්ති රාමුව තුළ දැනට ඇති සියලු වැටුප් ගැටළු හා විෂමතා නිවැරදි කරන ලෙසත්, ජාතික දීමනා ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන ලෙසත් ය.