29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගවයස අවුරුදු 22 දී වෛද්‍ය උපාධියත්, අවුරුදු 20 දී මූලීක උපාධියත් ලබා...

වයස අවුරුදු 22 දී වෛද්‍ය උපාධියත්, අවුරුදු 20 දී මූලීක උපාධියත් ලබා දීම සඳහා වු සංකල්පීය වාර්තාව මහජන අදහස් සඳහා එලිදැක්වීම.

රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සියළු දරුවන්ට නිදහස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන සීමිත රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් ගනියි. එමඟින් ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනාගත් විශේෂඥයින්, විද්වතුන් සහ විද්‍යාඥයන් ලොවට දායාද කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.

යටත් විජිත යුගයේ සිට 1980 දශකය දක්වා ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 – 23 වන විටද, මූලික උපාධිය වයස අවුරුදු 20 – 21 වන විටද ලබා දුන් අධ්‍යාපන ක්‍රමයක් අපට තිබුණි. 1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ පැවති විවිධ දේශපාලනික හා අන්තවාදී අර්බුද ද, අධ්‍යාපන පරිපාලන දුර්වලතාද නිසා අද වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ උසස් අධ්‍යාපනය අවසන් කරනු ලබන වයස් සීමාව වසර 5 කින් පමණ ප්‍රමාද වන වටපිටාවක් ගොඩනැගී ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල හා අනෙකුත් අන්තර්ජාතික විශ්ව විද්‍යාල තුළ උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමේ වයස් සීමාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ එම වයස් සීමාවට වඩා බෙහෙවින් අඩු බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළු වන දරුවන් සඳහා විශාල අසාධාරණයක් සිදු වේ.

වෘත්තීයවේදීන්ගේ සංගමයක් ලෙස මෙම අවාසනාවන්ත තත්ත්වය අධ්‍යයනය කර උසස් අධ්‍යාපනය අවසන් කිරීමේ ප්‍රමාදය ඇති කරවන අධ්‍යාපන පරිපාලන දුර්වලතා ඉවත් කර ගැනීම සඳහා සංක්ෂිප්ත යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකසා ඇත.

එමඟින් අවුරුදු 5 ක MBBS උපාධිය කිසිදු කප්පාදුවකින් තොරව වයස අවුරුදු 22 දී ලබා ගැනීමටත්, වසර 3 ක උසස් අධ්‍යාපන කාලය සම්පූර්ණ කර වයස අවුරුදු 20 දී මූලික උපාධිය ලබා ගැනීමටත් හැකි යුගයක් බිහි කිරීම සඳහා වූ සංකල්පීය වාර්තාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපතිතුමන්ට පසුගිය සතියේදී භාර දෙන ලදි.

තවද, පසුගිය මාර්තු මාසයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් හා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම යෝජනා ධනාත්මකව සලකා බැලීමට එකඟවිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් උපාධි වයස ප්‍රශස්ථ කිරීම සඳහා සකසන ලද සංකල්පීය වාර්තාව, විද්වතුන්, පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ඇතුළු මහජනතාවගේ අදහස් වෙනුවෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අද දින එළිදක්වනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments