■ අනුර බී. සෙනෙවිරත්න විසිනි.
හැඳින්වීම
ඇෆ්ගනිස්ථානයේ පවත්නා දැඩි නියඟය, අවසානයක් නැති ගැටුම් සහ අනාරක්ෂිත බව හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේත්, එම කලාපයේත් වෙසෙන ජනයාට මහා පරිමාණ පීඩාවන්ට සහ අවතැන්වීම්වලට මුහුණ දෙන්නට සිදු වී තිබේ. ඇෆ්ගනිස්ථානයෙන් ජාත්‍යන්තර හමුදා ඉවත් කර ගැනීමත්, තලේබාන් සංවිධානය එහි බලය අත්පත් කරගැනීමත් හේතුවෙන් එල්ලවෙමින් පවත්නා අභියෝග නොතකා, ඇෆ්ගනිස්ථානයට ජීවිතාරක්ෂක ආධාර අඛණ්ඩව ලබාදීමට එම තත්ත්වයන් යටතේ යුරෝපා සංගමය කටයුතු කරමින් සිටී. සෞඛ්‍ය සේවා, පෝෂණ ආධාර, මුදල් සහ ආරක්ෂක ආධාර වැනි මෙම මානුෂීය ආධාර තලේබාන් ආණ්ඩුව ළඟා නොවන ප්‍රදේශ ඇතුළු එරට සියලු ප්‍රදේශවලට ලබාදීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.
අවශ්‍යතා
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2021 වසරේ මුල් මාස 6 තුළ ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් අනතුරට පත්ව ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 47% ක වැඩිවීමකි. 2021 ආරම්භයේ සිට ම පුද්ගලයන් 550,000 ක් පමණ තම නිවෙස් අතහැර ගොස් ඇති අතර, අවතැන් වූවන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 4.2 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 වසංගතය, නියඟය, පවතින දේශපාලන අනාරක්ෂිතභාවය සහ ප්‍රචණ්ඩත්වය වැඩිවීම එහි මානුෂීය තත්ත්වය තවදුරටත් පිරිහීමට හේතු වී තිබේ. කොරෝනා වයිරසය නිසා ආනයන සීමා කිරීම සහ විරැකියාව වැඩිවීම හේතුවෙන් එරට ආහාර සුරක්ෂිතතාව ඉතාමත් නරක අතට හැරී ඇති අතර, මිලියන 14.1 කට ආසන්න ජනතාවක් දැඩි ආහාර හිඟයකින් පෙළෙති.
එමෙන් ම, දැඩි නියඟයත්, ජාත්‍යන්තර හමුදා ඉවත් කර ගැනීමත් හේතුවෙන් මිලියන 18.5 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වී තිබේ. නියඟය, අධික හිම පතනය, ක්ෂණික ගංවතුර සහ හිම කුණාටු – වැනි දරුණු කාලගුණික තත්ත්වයන් දස දහස් ගණන් මිනිසුන්ට සහ ඔවුන්ගේ නිවෙස්වලට එල්ලකර ඇත්තේ දැඩි බලපෑමකි.
2021 වසර තුළ ඇෆ්ගනිස්තානයට ඉරානයෙන් සහ පාකිස්තානයෙන් 760,000 කට ආසන්න පිරිසක් ආපසු පැමිණිය හ. මෙසේ ආපසු පැමිණෙන අය නිසා පවතින සේවාවන් හි ධාරිතාව බෙහෙවින් දුර්වල වී ඇති අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් සහ ඔවුන් නැවත එම සමාජයට ඒකාබද්ධවීම ඉතා කණගාටුදායක තත්ත්වයක පවතී.
මේ අතර, මිලියන 6.5 කට ආසන්න ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් තවමත් අසල්වැසි ඉරානයේ සහ පකිස්ථානයේ සරණාගතයන් ලෙස වාසය කරති. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු එහි සිටින්නේ ලියාපදිංචියක් හෝ කිසිදු නීනීත්‍යනුකූල තත්ත්වයක් නොමැතිව ය.
උදව් කිරීම
ගැටුම්වල තීව්‍රතාව සහ මානුෂීය අවශ්‍යතා මට්ටම අනුව යුරෝපා සංගමයේ ප්‍රමුඛතාව වන්නේ, ජීවිතාරක්ෂක ආධාර සැපයීම ය. 2021 වර්ෂයේ මුල් භාගයේ පමණක් යුරෝපා සංගමය මෙම මානුෂීය ආධාර සඳහා පවුම් මිලියන 57 කට ආසන්න මුදලක් වෙන් කළේ ය. එරට පාලනය තලේබාන්වරුන් යටතට පත්වීමෙන් පසුව ද, අතිරේක මානුෂීය අරමුදල් ලබාදෙන්නට යුරෝපා සංගමයට සිදුවී ය.
යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඉතාලිය සත්කාරකත්වය දැරූ ඨ-20 සමුළුවේ දී ප්‍රධාන මානුෂීය හා සමාජ-ආර්ථික කඩාවැටීමක් වැළැක්වීම සඳහා ලබාදෙන්නට අදහස් කරන යුරෝපා සංගමයේ ආධාර පැකේජය පිළිබඳව පළමුවරට නිවේදනය කළේ ය.
ඇෆ්ගනිස්ථානය සඳහා බ්‍රසල්ස් යුරෝ බිලියනයක් හෙවත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ආධාර වශයෙන් ලබාදෙන බවට එමගින් ප්‍රතිඥා දුන් අතර, ඒ සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය වහා ම එක්සත් ජනපද-යුරෝපා සංගම් ඒකාබද්ධ නියෝජිත කණ්ඩායමක් සමඟ ඔවුන්ගේ පළමු මුහුණට මුහුණ සාකච්ඡාව කටාර්හි දී පැවැත්වී ය.
යුරෝපා සංගමය මෙසේ ලබාදෙන අරමුදල් මගින් යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූවන්ට සහ ස්වාභාවික උපද්‍රව මගින් වඩාත් අවදානමට ලක්වූවන්ට සහන සැලසීම සහතික කර තිබේ. හදිසි සෞඛ්‍ය සේවා, නවාතැන්, ආහාර ආධාර, පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීම මෙන් ම, කාන්තාවන් සහ ළමයින් ඉලක්ක කරගත් විවිධ ආරක්ෂක සේවා සැපයීම කෙරෙහි මැදිහත් වීම් පිළිබඳව ද ඔවුන් අවධානය යොමුකර ඇත.
මෙම වසරේ අරමුදල් මගින් නියඟය, ගැටුම සහ පවතින ඣඪෂෘ-19 වසංගතය හා සම්බන්ධ ආහාර අනාරක්ෂිතභාවය සඳහා මෙන් ම, හදිසි සෞඛ්‍ය අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර ඇත. එසේ ම, ඣඪෂෘ-19 රෝගීන් සඳහා ආධාර කිරීම සහ වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම අරමුදල් අඛණ්ඩව සැපයීමේ පුධාන අරමුණකි.
මෙම ජීවිතාරක්ෂක ආධාර ලබාදීම වඩාත් වේගවත් කිරීම සහ පහසු කිරීම සඳහා යුරෝපා සංගමය පසුගිය කාලය තුළ මානුෂීය ගුවන් ගමන් කිහිපයක් ම ක්‍රියාත්මක කරන ලද අතර, එමගින් මේ දක්වා ආධාර ටොන් 50 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ගොස් තිබේ. ඇෆ්ගනිස්ථානයේ ප්‍රාථමික මෙන් ම, ජීවිතාරක්ෂක වෛද්‍ය ආධාර සැපයීම ද අඛණ්ඩව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ශල්‍යකර්ම උපකරණ සහ වෛද්‍ය සැපයුම් ද මෙම ආධාරවලට ඇතුළත් ය. ආධාර ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක යුරෝපා සංගම් හවුල්කරුවන් සහ මානුෂීය සංවිධාන මගිනි.
යුරෝපා සංගමය 1994 සිට ඇෆ්ගනිස්ථානයේ මානුෂීය මෙහෙයුම් සඳහා අරමුදල් සපයා ඇති අතර, එය පවුම් බිලියනයකට වඩා වැඩි ය. සැබෑ අවශ්‍යතා ඇති අයට එම ආධාර ලබාදීම සහතික කිරීම සඳහා ස්වාධීනත්වය, අපක්ෂපාතීභාවය සහ මධ්‍යස්ථභාවය පිළිබඳ මානුෂීය මූලධර්ම මත පදනම්ව එම අරමුදල් වෙන් කිරීම දැඩි පසුවිපරමකින් යුතුව සිදුවේ.
යුරෝපා සංගමය එරට ක්‍රියාත්මක හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයට (ෑපැරටැබජහ ඍැිචදබිැ ඵැජය්බසිප) ද, අරමුදල් සපයන අතර, මෑතක දී අවතැන් වූ පුද්ගලයන් සඳහා කලට වෙිලාවට හා නම්‍යශීලී ආකාරයෙන් හදිසි ආධාර ලබාදීම එමගින් සිදුවේ. 2020 දී මෙම මුදල් ප්‍රදාන මගින් එරට සෑම පළාතක ම වෙසෙන පුද්ගලයින් 220,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන්නට හැකි වී ය.
මෙම හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණයේ මූලික ජීවිතාරක්ෂක ආධාර සැපයීමේ විධිවිධාන මගින් මධ්‍යකාලීන හා දිගු කාලීන ආධාර තවදුරටත් සම්බන්ධීකරණය කිරීමට සහ සැලසුම් කිරීමට අනෙකුත් මානුෂීය ආයතනවලට ද ඉඩ සලසා දී තිබේ. එසේ ම, එම අරමුදල් සංවර්ධනය කිරීම සහ ස්ථාවර කිරීම ඉක්මනින් සිදුකිරීම සඳහා නිසි උපදේශන ලබාදීම මගින් ද, යුරෝපා සංගමය සිය හවුල්කරුවන්ට උපකාර කරමින් සිටී.
තව ද, යුරෝපා සංගමය ජීවිතාරක්ෂක සෞඛ්‍ය සේවාවන්ට ආධාර උපකාර කරන අතරතුර, රජයේ සාමාන්‍ය සේවා කටයුතු අඩාල වන ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබාදීමට ද කටයුතු කරයි. ගැටුම්වලට මැදිහත් වීමෙන් කම්පනයට පත්ව සිටින පුද්ගලයන් සඳහා වාර්තාගත ඉහළ ම මට්ටමින් අඛණ්ඩව සෞඛ්‍ය පහසුකම් ලබාදෙන බව ද වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයේ මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5 ට අඩු ළමයින් මිලියන 3 කට වැඩි සංඛ්‍යාවක් සිටින බැවින්, යුරෝපා සංගමය ඔවුන් සඳහා වන විශේෂිත පෝෂණ වැඩපිළිවෙලක් සඳහා ද සහාය දක්වමින් සිටී.
ගැටුම් නිසා අවතැන් වීම හේතුවෙන් පාසල් යන්නට නොහැකිව සිටින දරුවන් සඳහා ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘති සඳහා මෙන් ම, මානුෂීය ගුවන් ගමන්, රාජ්‍ය නොවන සංවිධානවලට ආරක්ෂිත තොරතුරු සැපයීම සහ මානුෂීය මැදිහත්වීම් සම්බන්ධීකරණය කිරීම සඳහා ද යුරෝපා සංගමය අරමුදල් සපයයි.
බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන යුරෝපා රටවල් 1951 දී ආර්ථික වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගැනීමත් සමඟ බිහිවූ යුරෝපා සංගමයට පසුව තවත් රටවල් එකතු වී ය. එක්සත් රාජධානිය 2020 ජනවාරි 31 දින යුරෝපා සංගමයෙන් ඉවත් වුව ද, එය මේ වනවිට රටවල් 27කින් සමන්විත ලොව ප්‍රබල සංවිධානයක් බවට පත් වී තිබේ.
එවන් මානවවාදී සංවිධානයක් වන යුරෝපා සංගමය ඇෆ්ගනිස්තානයට කෙතරම් මානුෂීය ආධාර සැපයුව ද, පිටස්තර කිසිවෙකුට කිසිදා ලබාදිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය ඇෆ්ගනිස්තානය තුළ දිනෙන් දින අභියෝගයට ලක්වෙමින් තිබීම කණගාටුදායක ය..෴