22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 02රැස්වන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැඩි...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 02රැස්වන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිර්ණය කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදය වන්නේ වැටුප් සංශෝධන පිළිබඳ යෝජනා ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කොට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හා මුදල් අමාත්‍යංශයේ අනුමැතීන්ට යටත්ව කැබිනට් මණ්ඩලයෙන් හෝ අයවැයෙන් එම සංශෝධන අනුමත කර වැටුප් වැඩි කිරීම සිදු කිරීමය. එහිදී අදාල අමාත්‍යංශයේ ලේකම්වරයා ඉහත සඳහන් ආයතන තුනෙහි එකඟත්වයන්ට යටත්ව වැටුප් සංශෝධනය සිදු කල යුතුය.

නමුත් මෑතකදී ඉහත පිළිගත් නිවැරදි ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමින් කැබිනට් මණ්ඩලය හරහා වැටුප් ලබා දීමේ ක්‍රමවේදය නිසා සේවයේ ස්වභාවය සහ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ පිළිගත් නිර්ණායකයන්ට අනුව තාක්ෂණික ඇගයිමට ලක් නොවේ. එබැවින් මෙම අත්තනෝමතික වැටුප් සංශෝධන නිසා අනිකුත් වෘත්තීය කාණ්ඩ වල අයිතිවාසිකම් වලට බලපාන අතර, මෙමඟින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දාමයකට රාජ්‍ය සේවකයින්, රජය විසින්ම යොමු කරවන ක්‍රියාවලියක් බව ඊයේ දිනයේ ගරු අග්‍රාමාත්‍යතුමන් සමඟ පැවති සාකච්ඡාවේදී අප පෙන්වා දුන්නෙමු. ‍

2003 වසර වන විට රාජ්‍ය සේවයේ වැටුප් ගැටලු නිසා දින 365 න් දින 187 ක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් කිසි වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වල නියැලෙන තත්ත්වයක් පැවතුනි. එහිදී ජාතික වැටුප් කොමිෂන් සභාවක් බිහි කර සියළු පාර්ශවයන් එකතු වී ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගොඩනැගිම තුලින් අප බලාපොරොත්තු වූයේ මෙවන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අවම කර සියළුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තාක්ෂණිකව පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියාත්මක කරවීමයි.

රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය සේවය තුල වැටුප් ගැටලු සම්බන්ධයෙන් ඇති වු අවසනාවන්ත තත්ත්වය තුල සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ලිපි ශිර්ෂයක් භාවිතා කරමින් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත යොමු කල ලිපිය මඟින් මෙම ගැටලුව තවදුරටත් බැරෑරුම් කරයි.

ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේද සහභාගිත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමන් සමඟ පැවති සාකච්ඡාවේදී එම ලිපිය තුලින් ඇති වන වැරදි පූර්වාදර්ශය පිළිබඳවත්, නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් කැබිනට් මණ්ඩලය මඟින් සිදු කරන වැටුප් සංශෝධන නිසා රාජ්‍ය සේවය තුල ඉදිරියේ ඇති විය හැකි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දාමය පිළිබඳවත් අප කරුණු පැහැදිලි කර දුනි.

තවද, සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ලිපියේ අන්තර්ගතයට අනුව රටේ පවතින ජීවන වියදම පිළිබඳ සලකා බලා එවන් පියවරක් ගත් බව සඳහන් වේ. වර්තමානයේ ජීවන වියදම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය හුදෙක් හෙද ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ථයක් ලෙස සියළු රාජ්‍ය සේවකයින්ටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුව ඇති ගැටලුවකි. එබැවින් වැටුප් පිළිබඳ සංශෝධන තෝරා ගත් කණ්ඩායම් වලට පමණක් නොව සියළුම රාජ්‍ය සේවකයින් වෙත නිසි ප්‍රතිපත්තියකට අනුව ලබා දිය යුතුය. තම සේවයේ ස්වභාවය අනුව වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනා හෙදියන්ට ද ලබා දිය යුතු බවට හැඟවෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ලිපියේ කරුණු දක්වා ඇත. හෙදියන්ගේ සේවාවේ ස්වභාවය අනුව ඔහුන්ට හිමි දීමනා සංශෝධනය කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යතුමන් වෛද්‍යවරුන්ගේ සේවාවේ ස්වභාවය හා හෙදියන්ගේ සේවාවේ ස්වභාවය අනුව තාක්ෂණිකව ඇගයිමකින් ලබා දිය යුතු දීමනා හා වැටුප් ක්‍රමවේදයන් පිළිබඳ අවබෝධයක් නැති බව පෙනී යයි.

හෙදියන් විසින් ලබා දෙන සේවාව කිසි ලෙසකින්වත් අවතක්සේරු නොකරන අතර වෛද්‍ය සේවාවේ ස්වභාවය හා සුදුසුකම් අනුව ලබා දී ඇති දීමනා අනෙකුත් කාණ්ඩ වෙත ආදේශ කිරීමට උත්සාහ කිරීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා වටහා ගත යුතුයි.

මේ පිළිබඳ ඊයේ දිනයේ (24) අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අප ඉදිරිපත් කළ කරුණු ගරු අග්‍රාමාත්‍යතුමන් හට පැහැදිලි වු අතර රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තින් පිළිබඳ උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීමට එතුමන් මැදිහත් වනු ඇති බව අප විශ්වාස කරමු. සෞඛ්‍ය අමාත්‍යතුමන් හෙද වෘත්තීය සමිතිය වෙත ඉදිරිපත් කල ලිපිය හේතු කොටගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල නැවතත් 2003 වසරට පෙර පැවති ලෙස වෘත්තීය සමීති ක්‍රියාමාර්ග දාමයක් ඇති වීමේ අවදානමක් උද්ගතව ඇත.

කොවිඩ් වැනි වසංගතයක් පවතින මෙම කාලය තුලදි සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුල මහජනතාව දැඩි ලෙස පිඩාවට පත් වන ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇති වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලිව වගකිව යුතුය.

ඒ අනුව ඊයේ දිනයේ රැස් වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ලබන දෙසැම්බර් 2 වැනි දින හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට තීරණය කල අතර එහිදී දැඩි තීන්දු තීරණ ගැනිමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments