25.7 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අර්බුදය නිමා කිරීම සඳහා වගකීම් බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම්.- ජාතික ජන...

අර්බුදය නිමා කිරීම සඳහා වගකීම් බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම්.- ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක


වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිමාකොට ස්ථාවරභාවයක් ගෙනඒම සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ මොහොත වනවිට අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති, ආණ්ඩුවක් නැති විශාල දේශපාලන අස්ථාවරභාවයක් තිබෙනවා. ජනාධිපතිවරයා පමණක් රට පාලනය කරන තත්වයට පත්වී තිබෙනවා. එම ජනාධිපතිවරයාත් ඔහුගේ ක්‍රියා කලාපයත් රටේ ජනතාව විසින් පිළිගන්නේ නැහැ. මේ නිසා රට තුළ විශාල දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවී තිබෙනවා. මෙම තත්වයට පිළිතුරු සෙවීමට පෙර රට තුළ මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වයට ක්‍ෂණික විසඳුම් ලබාදිය යුතුයි. 
අද වනවිට රට තිබෙන්නේ අඛණ්ඩව දින තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය යටතේයි. හදිසි නීතිය පනවා තිබෙනවා. සාමාන්‍ය තත්වය වෙනුවට කැළඹිලිකාරී නොසන්සුන් තත්වයක් පවතිනවා. රට තුළ පවතින අස්ථාවරභාවය අවසන් කිරීමට පෙර මෙම තත්වයට ක්‍ෂණික විසඳුම් ලබාගත යුතුයි. එහිදී විශේෂයෙන්ම මාස දෙක තුනක් මුළුල්ලේ සාමකාමී උද්ඝෝෂණ පැවතුණා. ප්‍රචණ්ඩකාරීත්වයට කිසිම ඉඩක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ අරලියගහ මන්දිරයට මැර කණ්ඩායම් කැඳවා ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කොට ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති කළා. රට සන්සුන් කරන්න නම් පළමුකොටම අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි. හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ඇමතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ආදී විවිධ පුද්ගලයන් රාජ්‍ය බලය යොදාගත් බව පැහැදිලියි. ඔවුන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි. 
මේ වනවිට ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා පවතින අරගලය යම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. පෞද්ගලික පළිගැනීම් සහ මංකොල්ලකෑම් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. නීතිය පසිඳලන ආයතන වර්ධනය වෙමිින් පවතින මෙම තත්වය වැළැක්වීම සඳහා කියාමාර්ග ගත යුතුයි. පොලිස්පතිවරයා තමන්ගේ වගකීම් ඉටුකරමින් මෙම තත්වය වැළැක්වීමට වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඉන් පසුව මෙම තත්වය සමනය කර ගැනීම සඳහා පොදු ජනතාවට පැවරී තිබෙන වගකීම් නිසි ලෙස තේරුම් ගෙන ක්‍රියාකළ යුතුයි. පොදු ජනතාවගේ වේදනාකාරී පීඩාකාරී අත්දැකීම් තුළින් පැන නැගුණු විරෝධයන් සැලසුම්සහගත මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා යන තත්වයට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එය පොදු ජනතාවගේ මූලික වගකීමක්. ප්‍රචණ්ඩකාරීත්වය මුලුමනින්ම ප්‍රතික්‍ෂේප කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරීන්ට කිසිසේත්ම අනුබල නොදිය යුතුයි.
මේ තත්වය ඉක්මනින් සමනය කර නොගෙන අස්ථාවරත්වයට ක්‍ෂණික විසඳුම් ලබාදිය නොහැකියි. කෙටි කාලයකට ඇතිකර ගන්නා ස්ථාවරභාවය ස්ථිර වශයෙන්ම පවත්වාගෙන යාම සඳහා යෝජනාවලියක් ජාතික ජන බලවේගය රට හමුවේ තබනවා. 
වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව
1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය. 
2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.
3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;
(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම, 
(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත. 
4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය. 
I ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය. 
II වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය. 
III විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.
IV තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය. 
V එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
මැතිවරණය සඳහා වැය වන මුදල් පිළිබඳව ඇත්ත ප්‍රශ්නයට වඩා මවපු තත්වයක් තිබෙන්නේ. පසුගිය මැතිරවණය සඳහා වියදම් කළේ රු. බිලියන 08යි. හදිසියේ දැන් මැතිවරණයක් පැවැත්වීමට බිලියන 13ක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම යම් අවස්ථාවක ප්‍රකාශ කර තිබුණා. බැසිල් රාජපක්‍ෂ පසුගිය ජනවාරි 05වැනිදා ඉදිරිපත් කළ පැකේජයට බිලියන 239ක් වැයවෙනවා. මේ අනුව බිලියන 13ක් කියන්නේ විශාල පිරිවැයක් නෙවෙයි. දේශපාලන ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට යම් පිරිවැයක් දැරිය යුතුයි. දැන් මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීම ඊට වඩා දරුණුයි. සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත, ඇතුළු සියලු ආර්ථික ක්‍ෂේත්‍ර විශාල වශයෙන් කඩාවැටෙමින් තිබෙනවා. එය නවත්වා ගැනීම සඳහා දේශපාලන ස්ථාවරභාවයක් වෙනුවෙන් මැතිවරණයකට දරන පිරිවැය අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙනවා. 
ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්වීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකම කොන්දේසියක්. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ තබාගෙන ක්‍රියාත්මක කළ යුතු යෝජනා මෙයට පෙර තිබුණා. නමුත් එල්ල  කරන ලද ප්‍රහාරයෙන් පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයේ තබාගෙන ක්‍රියා කිරීමට පොදු ජනතාව කිසි සේත් සූදානම් නැති බව පැහැදිලියි.
ඇතිවී තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වභාවය වහාම නැවැත්විය යුතුයි. තැන තැන සිදුවන මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් ආර්ථිකය ප්‍රපාතයට හෙළීමට හේතු වෙනවා. ඇඳිරි නීතිය පනවා තිබුණත් තවදුරටත් ඒවා නොපිළිගන්නා තත්වයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පොලීසිය සහ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන වගකීම්වලට අනුරූපව කටයුතු කළ යුතුයි. ඒවගේම ප්‍රචණ්ඩකාරීත්වය වැළැක්වීමට කටයුතු කිරීම පොදු ජනතාවගේත් වගකීමක්. රජ්‍ය අනුග්‍රහයෙන් ඇතිකළ ප්‍රචණ්ඩත්වය ඉතාමත් සැලසුම් සහගතව වැපිරූ ප්‍රචණ්ඩත්වය තුළින් ගෝඨාභය රාජපක්‍ෂටත් මහින්ද රාජපක්‍ෂටත් යටි අරමුණක් තිබෙන්න ඇති. නමුත් ආණ්ඩුවේ එම මෘග ප්‍රහාරයන්ට විරුද්ධව ජනතාව මේ තරම් පෙළගැසේ යැයි ඔවුන් කිසි විටෙකත් අපේක්‍ෂා නොකළ බව පැහැදිලියි. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය ක්‍ෂණිකව පෙළගැසී ගෝල්ෆේස් පිටිය දක්වා ගමන් කළා. ඒ අකාරයෙන් සියලු ජනතාව මේ මෘග ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළගැසුණා. මහින්ද රාජපක්‍ෂගේ ඔළුවේ තිබුණු මෘග කුමන්ත්‍රණය අසාර්ථක වුවත් යම් මිලිටරිමය පාලනයක් ඇතිකර ගැනීම සඳහා අරාජිකත්වය යොදවා ගන්නේද යන්න ගැන  සැකයක් මතුවී තිබෙනවා. ඇඳිරි නීතිය පනවා පොලීසිය සහ හමුදාව යොදවා තිබියදී පවා ප්‍රචණ්ඩකාරීත්වය පැතිරවීම පිටුපස ඉතා පැහැදිලිව ආණ්ඩුවේ දේශපාලන වුවමනා තිබෙන බව පැහැදිලියි. අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණය ඉටුකරගත නොහැකි වූ අපේක්‍ෂාවන් තැන තැන දියත් කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉටුකර ගැනීමට උත්සාහ කරන්නේද යන බලවත් සැකය මතුවී තිබෙනවා. 
මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස්වීමේ යම් සූදානමක් තිබුණු බවට ප්‍රචාරයක් තිබුණා. ඒ තමයි ප්‍රබන්ධ මහින්ද රාජපක්‍ෂ. ඔහුට හැමදාමත් ද්විත්ව ස්වරූපයක් තිබුණා. එක් පැත්තක් මාධ්‍ය හරහා දියත් කළ ප්‍රචාර වගේම කවි, ගීත ලියා ඔහු පිළිබඳව ගොඩනගා තිබෙන ප්‍රබන්ධ රාජපක්‍ෂ හිටියා. හැබැයි අරලිය ගහ මන්දිරයේ හිටියේ ඇත්ත මහින්ද රාජපක්‍ෂ. ජනතාව ඔහුට ඉවත් වෙන්න බල කරනකොට අරලියගහ මන්දිරයේදී ඔහු ප්‍රකාශ කළේ එම ජනතාව මර්දනය  කරන්න සූදානම් බවයි. ඒ බව ප්‍රකාශ කළ සැණෙකින් ඊට අදාළ ක්‍රියාමාර්ග දියත් කළා. මහින්ද රාජපක්‍ෂගේ ද්විත්ව ස්වරූපයේ ඉතාමත් භයානකක මෘග ස්වරූපය තමයි අරලියගහ මන්දිරයෙන් ඉවත් කළේ. රටම බියජනක තත්වයට පත්කර ඔහු ඉල්ලා අස්වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ මීටත් වඩා විනාශයක් කරලා ඉල්ලා අස්වේ දැයි සාධාරණ සැකයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂට අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති තත්වයක් තුළ ඔහු පනවා තිබෙන ඇඳිරි නීතිය පවා පොදු ජනතාව පිළිගන්නේ නැහැ. පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පළමු වතාවට වැඩ වර්ජනයක් ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ පවා තමන්ගේ කෑදර බල වුවමනාව වෙනුවෙන් ඔහු පුටුවේ වාඩිවී සිටිනවා. ඔහු බලයෙන් ඉවත් වන්නේ මීටත් වඩා වැඩි ප්‍රචණ්ඩත්වයක් රට තුළ මුදා හැරීමෙන්දැයි බලවත් සැකයක් පවතිනවා. 
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ උපුල් කුමරප්පෙරුම, ආචාර්ය අනුර කරුණාතිලක යන අය සහභාගී වූහ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments