ගතවු පැය 48 තුළ රට තුළ දිග හැරුණු ප්රචණ්ඩත්වය පිළිබඳව අපි දැඩි ලෙස කම්පනයට සහ කලකිරීමට පත් වන්නෙමු. එම සිදුවීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මේ සම්බන්ධයෙන් එම වෛද්‍ය සභාවේ අන්තර් වෛද්‍ය විද්‍යාල කමිටුව වෙනුවන් සභාපති ලේකම් මහාචාර්ය සමත් ඩි.ධර්මරත්න මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද කියා සිටියි.
මාසයකට වැඩි කාලයක් සාමකාමී උද්ඝෝෂණ පැවැති රටක මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ යුතුය. ඊයේ ඇති වූ ප්‍රචණ්ඩත්වයට මූලික හේතුව වූයේ නිරායුධ විරෝධතාකරුවන්ට රජයේ ආධාරකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයයි. මෙම ප්‍රහාරකයින් පොලු සහ මුගුරුවලින් සන්නද්ධව සිටි අතර, එයින් පෙන්නුම් කරන්නේ ප්‍රහාරය කලින් සැලසුම් කරන ලද්දක් බවයි. ඉන් අනතුරුව රට පුරා ප්‍රහාරකයන්ට එරෙහි ව ප්‍රහාර සහ ප්රචණ්ඩ ක්‍රියා ඇති වන්නට විය.

මෙම තත්ත්වයන් සමනයට පත් කිරීමට හැකි වන ආකාරයේ බරපතල ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි දිනවලදී තවත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් බොහෝමයක් සිදුවීමට ඉඩ ඇති බව අපගේ අදහසයි.
ප්රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් සහ තවත් රෝගීන් රෝහල් ගත වුවහොත් පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය හිඟ වීම නිසා අපගේ රෝගීන්ට සහ අපගේ සෞඛ්‍ය සේවාවන්ට බරපතල බලපෑමක් ඇති කරනු ඇත.
මේ වන විට සාමකාමීව රට පාලනය කිරීමේ හැකියාව ආණ්ඩුවට අහිමි වී ඇති බව පැහැදිලිය.
එබැවින් අප ආණ්ඩුව වෙත ආයාචනා කර සිටින්නේ ජනතාවගේ කැමැත්තට හිස නමන ලෙසයි. එලෙස ම අප මෙරටට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ විරෝධතා සාමකාමීව සිදු කරගෙන යන ලෙසයි.
අවසාන වශයෙන්, බලධාරීන් වෙතින් අප ඉල්ලා සිටින්නේ සියලුම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.