25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සජිත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙක්.

සජිත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බවයි.

පාලිත රංගේබණ්ඩාර මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ පක්ෂ නියෝජිත සාකච්ඡාවකදීයී.

21 වන සංශෝධනයට සහය ලබානොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව ද පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙන කාරණයක් වන්නේ රටට ආදරය කරන අයෙකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ එම සංශෝධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම බව මහලේකම්වරයා පවසයි.

දෙමළ ජාතික සන්ධානය 21 වන සංශෝධනයට පක්ෂව සිටියද එම්.ඒ.සුමන්තිරම් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් පමණක් ඊට විරෝධය දක්වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවද ඔවුන්ද බැසිල් රාපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව පැහැදිලිව පෙනී යන්නේ යැයිද ඔහු සදහන් කළේය.

21 වන සංශෝධනය යනු 19 වන සංශෝධනයටත් වඩා ප්‍රබල සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පාර්ලිමේන්තු නිදහස තහවුරු කරන ව්‍යවස්ථා සංශෝධනයක් බව පැවැසූ පාලිත රංගේබණ්ඩාර මහතා එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පෙනී සිටින්නේ සෘජුවම විධායක බලතල ආරක්ෂා කිරීමට යැයිද පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය,

ගෝඨා ගෝ හෝම් යන්න තවදුරටත් ප්‍රබල කරන කාරණයක් ලෙස 21 වන සංශෝධනය හදුන්වන්න පුළුවන්. මෙමගින් විධායක බලතල කප්පාදු වෙනවා පමණක් නොවෙයි. විගණන, අල්ලස් වැනි කොමිෂන් සභා රැසක බලතල ඉතා ප්‍රබල ලෙස වැඩි වෙනවා. හොරකමට, දූෂණයට, වංචාවට තියෙන සියළු මාර්ග මේ යටතේ අවහිරවනවා. දැන් විපක්ෂ නායවරයා මේ කියන්නේ මේ දේවල් කරන්න හොද නෑ කියලද ?

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ කරන්නේ රාජපක්ෂවරුන්ට කෘතගුණ දැක්වීමක්. ඒක ඉතා පැහැදිලියි. ඒකට හේතු රැසක් තිබෙනවා. එකක් තමයි ඔහුගේ සොහොයුරිය කෝටි දෙකක හොර නෝට්ටු සමග හසුවෙනවා. ඒ වෙලාවේ ඇය බේරා ගන්නේ රාජපක්ෂවරු විසින්. ඒ සිද්ධීයට කිසිදු ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒත් සාමාන්‍ය කෙනෙක් එක 100 නෝට්ටුවක් එක්ක හසු වුනානම් ඒ මනුස්සයා අනිවාර්යෙන්ම හිරේ යනවා. මෙයාලගෙ කෝටි ගණනක් අහු වෙලත් මොකුත්ම නෑ.

දෙවැන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති මුදල් වංචාව. සජිත් ප්‍රේමදාස ඇමැති කාලේ තමයි මේ වංචාව සිදු වුණේ. සෙල්ලමක් නෙමෙයි බිලියන 11 ක් විතර අවභාවිත කරල තියෙනවා. ඡංගම ගිණුම් 25 ක් භාවිතා කරමින් මේ මුදල් වංචා කර ඇති බවද මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් විවිධ මිලදී ගැනීම් සිදුකිරීම ඇතුළු කාරණා රැසක් යටතේ මේ වංචා සිදුකර ඇති බව මේ වන විට අනාවරණ වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මේ වංචා සිදුව ඇති බවයි පැවැසෙන්නේ.

කෙහොම වුණත් මේ දේවල් ගැන රාජපක්ෂලා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මේවට තමයි සුපිරි ඩීල් කියල කියන්නේ. අධක්ෂ මණ්ඩලයේ හෝ අනුමැතියක් දැනුම්වත්වීමක් නොමැතිව මෙම මුදල් අවභාවිතය සිදුකරල තියෙනවා.

රාජපක්ෂවරු ලබාදුන් රැකවරණයට කෘතගුණ දක්වන්න දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සිදුවෙලා තිබෙනවා. මේ වෙන්නේ ඒ කෘතගුණ දැක්වීමයි.

අත්ත තිත්ත වෙන්න පුළුවන්. ඒත් කියන්න අවශ්‍යයි. ජනතාව තවදුරටත් මේ අයට රැවටි රැවටි ඉන්නවද ? නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගෙන සත්‍ය අවබෝධය සහිතව රටගාඩනැගීම වෙනුවෙන් අගමැතිතුමා තනිවම ඉදිරපත්වී සිදුකරන මේ ක්‍රියාන්විතයට සහය දෙනවාද ? අපිට උත්තර හොයන්න තියෙන්නේ ජනතාව දැනුම්වත් කරන්න තියෙන්නේ මේ කියන කාරණා දෙක පිළිබදයි. එය නිසි ලෙස තේරුම් ගතහොත් අපිට මේ රට ඉතා කෙටි කලක් තුළ ගොඩ නගන්න පුළුවන් වේවි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments