26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedශ්‍රී ලංකා නාවික හමුදා  නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ...

ශ්‍රී ලංකා නාවික හමුදා  නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය සැප්තැම්බර් 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී     ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ)  දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද උදෑසන (2022 නොවැම්බර් 02) කොළඹ වරාය වෙත සේන්දු විය.  කොළඹ වරාය වෙත සේන්දු වූ පී 627 නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී  ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන්  ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.   

සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2021 ඔක්තෝබර් මස 26 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ‘සියැටල්’ වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක කඳවුරේදී සිදු කෙරුණු අතර, එදින සිට  පී 627 ධජ අංකය යටතේ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් විය. 

ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621)  සහ 2018 වර්ෂයේදී  ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ (පි 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ අරමුණින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස පී 627 නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments