21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2050 දී රටේ ජනගහනයෙන් 30%ක් වැඩිහිටියන්

2050 දී රටේ ජනගහනයෙන් 30%ක් වැඩිහිටියන්

වර්ෂ 2050 වන විට මෙරට වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයෙන් 30%කට ආසන්න වනු ඇතැයි තක්සේරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අර්ථ දක්වන්නේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය ලෙසය. ‘වසංගත හමුවේ වැඩිහිටි අභියෝග’ යන්න තේමා කර ගනිමින් ලෝක වැඩිහිටි දිනය ඊයේ (1 වැනිදා)ට යෙදී තිබුණ අතර ඒ වෙනුවෙන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ මෙරට ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය ඊයේ දින (1 වැනිදා) සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. වැඩිහිටියන්ට සලකන සංස්කෘතිය නැවතත් රටෙහි ඇති කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ඇමැතිවරිය එහිදී පැවසුවාය.

එහිදී සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේද කීවාය.

‘‘අපේ පළමු කාර්යය විය යුත්තේ වැඩිහිටියන්ට සලකන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කිරීමයි. අපේ රටේ එහෙම සංස්කෘතියක් අතීතයේ තිබුණා. ලෝකයේ වෙනත් රටවල එම සංස්කෘතියක් නැහැ. අපේ රටේ දෙමව්පියෝ තාමත් දරුවන්ට කියලා ඉතිරි කරනවා, දරුවා වෙනුවෙන් කැප වෙනවා. අපේ රටේ තිබුණ පැරණි සංස්කෘතිය වන වැඩිහිටියන් සහ දරුවන් අතර සම්බන්ධතාව, වැඩිහිටියන්ට සලකන සංස්කෘතිය, මනෝභාවය නිර්මාණය කළ යුතුයි. එය නව පරම්පරාවේ වගකීමක් වෙනවා. මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් වැඩිහිටි ලේකම් කාර්යාලය සහ ආයතනවල ද එය ප්‍රධාන වගකීමක් වෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය එයයි.’’

ක්‍රියාශීලී වීම ඇතුළුව වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා වන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් දියත් කොට ඇති අතර තවදුරටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සේවා බෙදාහැරීමේ සැලැස්මට සමගාමීව පස් අවුරුදු සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.

මෙහිදී වැඩිම දරුවන් සිටින මව්වරුන් පිදීම, ආදරයයි කරුණාවයි කෘතිය පිළිගැන්වීම වැඩිහිටි නිවාස සඳහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගත වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ද සිදු විය. එහිදී වැඩිම දරුවන් දැයට දායද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනකුගේ මවක වන නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම්. මැණික්හාමි මාතාව සෞඛ්‍ය ඇමැතිවරිය විසින් ඇගයීමට ලක් කර තිළිණයක් ප්‍රදානය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments