-ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙන් සුවිශේෂී අනාවරණයක්
අද වන විට ‘වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුව’ ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර දෙපළාතේ පිහිටි පුරාවිද්‍යා රක්ෂිත සහ පුරාවිද්‍යා ස්මාරක 74ක් සංහාරයට ඉඩ දී බලා සිටින බවත් එම පුරාවිද්‍යා උරුමයන් සංහාරය දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී පක්ෂවල අනුග්‍රහයෙන්, උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වය ඇතිව සිදු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටී.
එය බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමක් බව ද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා පෙන්වා දෙයි.
අද(04) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.
“කොළඹ සිදුවන සංසිද්ධීන් දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටින මේ මොහොතේ ලාංකේය ජාතියට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා උරුමයන් බොහෝ වේගයෙන් සංහාරය වෙමින් තිබෙනවා. දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂවල අනුග්‍රහයෙන් සහ උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වයෙන් තමයි මෙම පුරාවිද්‍යා උරුමයන් සංහාරය බොහෝ වේගයෙන් සිදුවන්නේ. සාමාන්‍ය දෙමළ ජනතාව මීට තදබල ලෙස විරුද්ධයි. නමුත් ඔවුන්ගේ හඬ යටපත් කොට තිබෙනවා.
පසුගිය දිනක දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනෙකු වන අර්ජුන් සම්පත් සහ අන්නමලේ යන අය උතුරු පළාතට පැමිණියා. ඔවුන් පැමිණිලා උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල නායකයන් වන සුමන්තිරන්ලා, ශාක්‍යයන්ලා හමු වෙනවා. ඉන් අනතුරුව තමයි ඔවුන් උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා උරුමයන් සංහාරයට අනුග්‍රහය හා මගපෙන්වීම සිදුකරන්නේ. මේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් සංහාරය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ වෙල්ලන් සාමි සහ සචිත්තානන්දන් යන හින්දු මූලධර්මවාදී නායකයන් දෙදෙනාටයි. ඔවුන් අතේ තිබෙනවා උතුරු නැගෙනහිර දෙපළාතේ පිහිටා ඇති අනුරාධපුර මුල් යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක 74ක ලැයිස්තුවක්. මේ පුරාවිද්‍යා ස්මාරක 74 වැනසීම මේ ව්‍යාපෘතිය යටතේ දැනටත් ඇරඹිලා තිබෙනවා.
වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නැදුන්කර්නි පොලිස් බල ප්‍රදේශයේ, නයිනමඩු රක්ෂිතයේ, 222 ඕළුමඩු ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන වඩුන්නාගල හෙවත් වෙඩිකිනාරිමලේ පුරාවිද්‍යා ස්මාරකය පසුගියදා මේ අප පෙන්වා දීපු ආකාරයට සංහාරයට ලක් වුණා. මේක අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක්. මෙහි ලෙන් විහාර අටක් තිබෙනවා. මේ ලෙන් විහාර 8ට භික්ෂූන්වහන්සේ සඳහා පූජා කර තිබූ බවයි පුරාවිද්‍යා මූලාශ්‍රවලින් කියැවෙන්නේ. මෙවැනි පුරාවිද්‍යා ස්මාරක බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද සමයේදී පවා නිරුපද්‍රිතව තිබුණා. නමුත් පසුගිය දිනක වෙල්ලන් සාමිලා, සචිත්තානන්දන්ලා ඇවිල්ලා වඩුන්නාගල පුරාවිද්‍යා ස්මාරකයට අයත් චෛත්‍යය විනාශ කරලා, ශිව ලිංග සහ වෙනත් දේව ප්‍රතිමා තැන්පත් කොට තිබෙනවා. මේ අය පෙන්වන්නේ මේක සාමාන්‍ය දෙමළ ජනයා සිදු කළ බවයි. නමුත් සාමාන්‍ය දෙමළ ජනයා මේකට විරුද්ධයි. 2017දී විතර මෙතැන කුඩා ශිවලිංග තැන්පත් කර තිබුණා. ඒවා සිංහල ජනතාව විසින් විනාශ කළා, කියලා මේ පුරාවිද්‍යා සංහාරයට වගකිව යුතු පිරිස පොලිසියට බොරු පැමිණිල්ලක් සිදු කොට තිබෙනවා. ඒ පිට දමලා එම ස්ථානයේ විශාල විනාසයක් කරලා, දැන් විශාල ප්‍රමාණයේ ශිව ලිංඟ සහ දේව ප්‍රතිමා තැන්පත් කොට තිබෙනවා.