කම්කරුවන් හා වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද විවිධ පැමිණිලි හා ඉල්ලීම් මත බේරුම්කරණයට යොමු කර ඇති සියළුම කාර්මික ආරවුල් සම්බන්ධ බේරුම්කරණ පරික්ෂණ ඉදිරි මාස තුන ඇතුලත අවසන් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බේරුම්කරණ සාමාජිකයන්ට උපදෙස් ලබාදුන්නේය. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ඊයේ (02) බේරුම්කරන සාමාජිකයන් සමඟ අමාත්‍යාංශයේදී පැවත් වූ සාකච්ඡාවක දීය. කම්කරු දෙපාර්තමේන්තුව පත් කළ බේරුම්කරන සාමාජිකයන් (19) දහනව දෙනෙකු දැනට කම්කරු ආරවුල් බේරුම්කරන ක්‍රියාවලිය යටතේ සමථයට පත්කිරීමේ කාර්යයෙහි නියැලී සිටී. මේ වනවිට එම බේරුම්කරන පරික්ෂණ 220ක් ගොනු කර ඇත. ඉන් 183 ක් පරික්ෂණ මට්ටමේ පවතින බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පෙන්වා දුන්නේය. බේරුම්කරණය යනු ගතානුගතික උසාවි ක්‍රමයෙන් බැහැර වූ සාධාරණ යුක්ති මූලධර්මයන්ට අනුව ප්‍රශ්නගත පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට ආරවුල් කඩිනමින් සමථයකට පත්කරන ක්‍රමවේදයක් බවත්, එයට අනුගත වෙමින් බේරුම්කරණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බව මෙහි දි අමාත්‍යවරයා මුලින්ම පෙන්වා දුන්නේය. බේරුම්කරණ පරික්ෂණ වසර ගණන් දිග්ගැස්සී යාම නිසා වින්දිත සේවකයන්ට බරපතල අසාධාරණයක් වන බව ඇමතිවරයා ප්‍රකාශ කළ අතර, එක් ආරවුලක් සම්බන්ධයෙන් පරික්ෂණ වාර 34 ක් පවා කැඳවා ඇතත් මෙතෙක් එම ආරවුල් විසඳා අවසන් කර නොමැති බව මෙහි දි අනාවරණය විය. මෙයට හේතුව නීතිඥයන් දිගින් දිගටම දින ගැනීම බවත්, එබැවින් ඉදිරියේ දි එසේ උසාවිවල මෙන් දිගින් දිගටම දින ලබාදීම නොකළ යුතු බවත්, හරස් ප්‍රශ්න හා සාක්ෂි විමසීමට ගත කරන කාලය අවම විය යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය. අත්‍යාවශ්‍ය අවස්ථාවලදි පමණක් හා සාධාරණ හේතු ඇතොත් ඒ සඳහා අවම කාලයක් ලබාදිය යුතු බව ද සෙසු සියලු සාක්ෂි සහ කරුණු දැක්වීම් ලිඛිතව දිව්රුම් පෙත්සම් මගින් ඉදිරිපත් කිරීමට අදාල පාර්ශව දැනුවත් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම පරික්ෂණ කඩිනමින් අවසන් කිරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනවල අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද ඇමතිවරයා මෙහිදි අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞශල්‍ය, කාර්මික අධිකරණයේ ලේඛකාධිකාරි ආර්. එම්. ඒ. අධිකාරි මහත්මිය ද එක් වූහ.
සියළුම කාර්මික ආරවුල් සම්බන්ධ පරික්ෂණ ඉදිරි මාස තුන ඇතුලත අවසන්
RELATED ARTICLES