අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (08) 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට සහභාගී වෙමිනි. “මේ මොහොතේ රටේ ආර්ථිකය ගැන කථා කරන බොහෝ දෙනෙකු එදා ආර්ථිකය කඩා වැටී තිබූ මොහොතේ සිය දායකත්වය ලබා දුන්නා නම් මේ වන විට ආර්ථිකය තවත් සුභවාදී වීමට ඉඩ තිබූ බවත්” හෙතෙම සඳහන් කළේය.
රජය විසින් ආනයන සහ අපනයන ප්‍රමුඛ කොට ගනිමින් අවශ්‍ය මූල්‍ය කළමණාකරණය සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී. එම නිසා ආනයන සැළකිය යුතු ප්‍රමාණයකින් ක්‍රමවත්ව පාලනයට ලක් කිරීමට හැකි වූ බවද පසුගිය 2022 වසරට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 8% කින් පමණ පහළ ගොස් ඇති බවද සඳහන් කරන ලදී. අසාර්ථක කාබනික පොහොර ප්‍රතිපත්තිය හමුවේ ඇති වූ දුෂ්කරතා මධ්‍යයේ වුවද කෘෂිකාර්මික අපනයන පසුගිය වසරට සාපේක්ෂව සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. ලෝකයේ පවතින ආර්ථික අර්බුදය සමග කාර්මික අපනයන සඳහා වූ ඉල්ලුම පහළ යාම හේතුවෙන් මුළු අපනයනයන්හි සංකෝචනයක් සිදු වුවද ඉදිරි මාස කිහිපය තුළ එය යථාවත් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය IMF මූල්‍ය පහසුකම ලබා ගන්නා විට විශාල රාජ්‍ය සේවයකයන් පිරිසක් සිටීමත්, ඔවුන්ගේ වැටුප් ලෙස විශාල මුදලක් මාසිකව වැය කිරීමට රජයට සිදු වීමත් තුළ රාජ්‍ය සේවය කප්පාදු කරනු ඇතයි බොහෝ දෙනෙකු විශ්වාස කළද, එකදු රාජ්‍ය සේවකයකුගේ හෝ රැකියාව අහිමි නොකර ආර්ථිකය කළමණාකරණය කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රණයක් බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී. IMF මූල්‍ය පහසුකම ලබා ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා දේශීය ව්‍යවසායකයන් නඟා සිටුවීම ආදී ලෙස රටක් වශයෙන් ලංකාව ගමන්කරවන්නට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රතිපත්ති හා මෙහෙයුම් සමුදායක් පසුගිය තුළ ඉටු කළ බවත් එහි ප්‍රතිඵල මෙම වාර්තාව හරහා පෙනෙන්නට ඇත.
එළඹෙන 2024 වසර ඉලක්කගත වසරක් බව සඳහන් කළ අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශය හරහා කෘෂිකර්ම, ධීවර හා සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිත සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් ඔස්සේ රට තුළ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවද මෙහිදී සඳහන් කරන ලදී.
රට තුළ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමටත්, වෙළෙඳපොළ තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම අත්‍යාවශ්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා, සිංගප්පූරුව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 45%-65%, වියට්නාමය 40%-50% ක් හා බංගලාදේශයේ මෙම අගය 45%-55% ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය පහසුකම් සපයන අතර ලංකාවේ 12% ක පමණ වන එම අගය ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් ආර්ථිකය නගා සිටුවා ස්ථාවර ආර්ථිකයක් ඇති කරන බවත් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.