2024 වර්ෂයට අදාල අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපන වැය ශීර්ෂයට බිලියන 237 ක් ද, සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් බිලියන 410 ක් ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් බිලියන 564 ක් ද, ප්‍රවාහන හා අධිවේගී මාර්ග සඳහා බිලියන 404 ක් ද ඇස්තමේන්තුගත කර ඇත.
එමෙන්ම රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සඳහාද මුදල් වෙන්කර ඇත. රටේ සංවර්ධනය සහ සුභ සාධනයට එවැනි වැය ශීර්ෂයන් වෙන්කිරීම පිළිබඳව අපගේ විරෝධයක් නොමැත. එනමුත් ව්‍යවස්ථාපිත කාර්යයන් මෙන්ම ජනතා පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට ජනතාව සතු අනුලංගනීය අයිතිවාසිකමක් වන ඡන්ද බලය භාවිතා කිරීමට ඉඩ ප්‍රස්ථාව දින නියමයකින් තොරව කල්යාම යහපත් ප්‍රවණතාවයක් නොවන බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීම තුළ රටක ප්‍රගමනයට සිදුකරනු ලබන හානිය අතිමහත්ය.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලකි. එම මුදලින් දැනටමත් රුපියල් බිලියන 01 ක මුදලක් මුල් අදියරේ මැතිවරණ ක්‍රියාකාරකම් සඳහා වැය කර ඇත. එමෙන්ම පළත් පාලන ඡන්ද විමසීමට අදාල නාමයෝජනා කැඳවා අපේක්ෂකයන් විසින් ප්‍රචාරණ කටයුතුද යම් දුරකට සිදු කර ඇත. නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ඡන්ද විමසීම කුමන හෝ හේතුවක් මත නොපැවැත්වුවහොත් දැනටමත් වැයකර ඇති රුපියල් බිලියනයක මුදල අපතේ යනු ඇත. බරපතල ආර්ථික අර්බුදයක් ඇති රටක මෙලෙස මහජන මුදල් විනාශ කිරීම සඳහා අවකාශය සැලසීම කොතරම් යුක්ති සහගතදැයි නැවත නැවතත් සිතා බැලිය යුතුය. එමෙන්ම එම තීන්දු හේතුවෙන් විනාශ වන රුපියල් බිලියනයක මුදලට වගකියනු ලබන්නේ කවුරුන්ද යන්න රටට හෙලිකළ යුතුය.
මෙවැනි වාතාවරණයක් තුළ සාධාරණ පදනමකින් තොරව මාස 08 කට අධික කාලසීමාවක් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර නොගැනීම කණගාටුවට කරුණකි. එයට හේතුව ලෙස ආණ්ඩු පාර්ෂවයෙන් සඳහන් කරනුයේ අත්‍යවශ්‍ය සේවාවන් වලට හැර ඉන් පරිබාහිර කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සඳහා අවකාශයක් නොමැති බවයි. නමුත් සුභ සාධන හා සංවර්ධන කටයුතු වලට දක්වන ප්‍රමුඛතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා ඇති මැතිවරණ වලදී නොදැක්වීම කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ යුත්තේය.
එමෙන්ම අයවැය ප්‍රකාශනයේ ආකර්ශනීය යෝජනාවක් වන සාමකාමී සාධාරණ සමාජයක් සඳහා කැපවීමෙහිලා රුපියල් බිලියන 243 ක් වෙන්කර ඇත. රටක ශිෂ්ඨත්වය මනිනු ලබන්නේ එම රටෙහි පුරවැසියන්ට නිසිකලට සිය පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට අවකාශය සැලසීමෙන් යැයි ප්‍රකට කියමනක් වෙයි. සාමකාමී සාධාරණ සමාජයක් නිර්මාණය වනුයේ එවැනි ක්‍රියාකාරකම් හරහා මිස ඡන්ද කල්දැමීමෙන් නොවේ. සාමකාමී සාධාරණ සමාජයක් සඳහා කැපවීම වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 243 ක මුදලින් ඡන්ද විමසීමක් වෙනුවෙන් වැය වනුයේ බිලියන 9 කි. එනම් 3.70% ක ප්‍රමාණයකි.
අතීතයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළ සහ විෂයභාර අමාත්‍යවරයා ලෙසද අප ඔතුමාගෙන් ඉමහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් නිදහස් කර සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.