නේපාලය කියූ සැණින් ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මතකයට එන්නේ බුද්ධෝප්පත්තියයි. සිද්ධාර්ථ කුමරු ඉපදී හැදී වැඩුණු ශාක්‍යයන්ගේ රාජධානිය වූ කපිල වස්තුව යනු අද නේපාලයයි. මෑතකාලීනව නේපාලය පිළිබඳ ක්‍රිකට්ලෝලීන් අතර කතාවක් ඇතිවුණේ මේ කිසිවක් නිසා නොව නේපාල ක්‍රිකට් සංගමය (CAN) හා ධර්මාස් සුන්තාලි පදනම එකතුව නිර්මාණය කිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිසාය. ඒ එයට යොදා ඇති නමද සමගිනි.
ඒ මේ දිනවල නේපාලයේ ඉදිවෙමින් පවතින පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට නේපාලයෙන් පහළ වූ ලෝකයේම ශ්‍රේෂ්ඨ පුරුෂයා සේ සැලකෙන ගෞතම බුදුන්ගේ නම තැබීමට තීරණය කර තිබීමයි. මෙම ක්‍රීඩාංගණය පිළිබඳව කතා කිරීමට කලින් මෙම ක්‍රීඩාංගණයේ හිමිකාර කණ්ඩායම වන නේපාල කණ්ඩායමේ වතගොත ටිකක් කතාබහ කර සිටිමු.
ඩැනියෙල් වයිට් විසින් 1877 වසරේදී රචිත ‘නේපාල ඉතිහාසය’ නමැති කෘතියේ සඳහන් වන්නේ තරුණයන් ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා යොමු කිරීමට උත්සාහ කළද ක්‍රීඩාව ආත්ම ගරුත්වය කෙලෙසා ගැනීමක් ලෙස සැලකීමට ඔවුන් පුරුදු වී සිටි නිසා එය ඉතා දුෂ්කර වූ බවයි. කෙසේ වෙතත් පසුකාලීනව ක්‍රිකට් ක්‍රීඩාව ටිකෙන් ටික නේපාලයට හුරු වුවත් මූලිකව ක්‍රිකට් ක්‍රීඩා කළේ එවකට නේපාලය පාලනය කළ රාජ පරම්පරාව වූ ‘රානා’ පරපුරේ අය හා එම රාජ සභාවේ රදලයන් පමණි. ඊට හේතුව නේපාල ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ට පමණක් සීමා කර තිබීමයි.
1946දී ‘නේපාල ක්‍රිකට් සංගමය’ පිහිටුවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව සමාජයේ සෙසු ඉහළ පවුල් අතරද ප්‍රචලිත කිරීමට තීරණය විය. එසේම 1951 සිදුවූ නේපාලයේ දේශපාලන පෙරළියත් සමග නේපාලය ප්රජාතන්ත්රවාදී දේශපාලන ධාරාවට පිවිසියේය. ඒ සමගම ක්‍රිකට් ක්‍රීඩාව සමස්ත නේපාලය පුරාම ව්‍යාප්ත වීම ආරම්භ විය. නේපාල ක්‍රිකට් සංගමය, නේපාල ජාතික ක්‍රීඩා කවුන්සිලය යටතට පත් කිරීමත් සමග නේපාලයේ ක්‍රිකට් දියුණු වීම ආරම්භ විය. මේ වනවිට නේපාලයේ ප්‍රධාන ක්‍රීඩා සියල්ලට කේන්ද්‍රගතව තිබුණේ කත්මණ්ඩු අගනුවර වටාය. 1980 දශකය වනවිට අනෙකුත් ප්‍රදේශවල පහසුකම් දියුණු වීම හා මහාමාර්ග පද්ධතිය දියුණු වීම නිසා ක්‍රීඩාවන් ඒ ඒ ප්‍රදේශ කරාද ව්‍යාප්ත විය.
1988දී නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අනුබද්ධ සාමාජිකත්වය ලැබීමට සමත් වූ අතර ඉන්පසු නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනයට අවශ්‍ය සියලුම ආකාරයේ පුහුණු පාසල් හා තරගාවලි කලාප හා දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට 90 දශකයේ මුල් භාගයේ සිට කටයුතු කෙරිණි. 90 දශකයේ මැද භාගය වනවිට ජාත්‍යන්තරව ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආකාරයේ පහසුකම් සපුරා ගැනීමට නේපාලය සමත් විය. 1996දී ICC ය විසින් නේපාලය ඔවුන්ගේ සාමාජික රටක් ලෙස පිළිගැනුණි.
නේපාලය ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාමේ මුල් අවධියේදී ඔවුන්ව පුරුදු පුහුණු කළේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රෝයි ඩයස්ය. එම නිසා නේපාල ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ශ්‍රී ලංකවෙන්ද යම්කිසි දායකත්වයක් එසේත් නැත්නම් තල්ලුවක් ලැබී තිබේ.
ඉන්පසු ඔවුන් ICC හා ආසියානු ක්‍රිකට් කවුන්සලය (ACC) සංවිධානය කරනු ලබන විවිධ තරගාවලි සඳහා සහභාගි වූ අතර ඔවුන් ජාත්‍යන්තර පළමු පෙළ තරග සඳහා ප්‍රවේශය ලබන්නේ 2014දී ICC විස්සයි විස්ස වරම් ලබාගැනීමත් සමගය. පසුව නේපාලය 2014 දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහාද සහභාගි වීමට වරම් ලැබීය. 2018 මාර්තු 15 වැනිදා ඔවුනට සුවිශේෂී වූයේ ඔවුන් එදින ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් බැවිනි. මේ වනවිට ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ එක්දින තරග 10කට මුහුණ දී ඇති අතර එයින් තරග පහක් ජයගෙන පහක් පරාජය වී තිබේ.
නේපාල ක්‍රිකට් සංගමය සතුව මේ වනවිට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගණ දෙකක් පවතින අතර දේශීය තරග ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගණ දෙකක් වේ. එයින් ජාත්‍යන්තර තරග සඳහා සත්කාරකත්වය දක්වන ක්‍රීඩාංගණ වන්නේ කීර්තිපූර්හි ත්රිභාවන් විශ්වවිද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණය (TU Cricket Ground) හා පෝක්රාහි පිහිටි පෝක්රා රංග ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. දැනට ඔවුන්ගේ ජාත්‍යන්තර තරග සඳහා සත්කාරකත්වය දක්වන්නේ මෙම ක්‍රීඩාංගණයි. මෙම ක්‍රීඩාංගණ දෙකට අමතරව තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබන වසරේදී ඔවුනට එක්වීමට නියමිතය. ඒ දැන් අපගේ මාතෘකාව වී කතා කරන ක්‍රීඩාංගණයයි.
නේපාලයේ භාරත්පූර්, මිත්වානිහි ඉදිවෙන මෙම ක්‍රීඩාංගණය සඳහා පළමු පස් පිඩැල්ල කපා මුල්ගල් තබන ලද්දේ 2018 වසරේදීය. එහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ නේපාල ක්‍රිකට් සංගමයේ අනුදැනුම ඇතුව ධර්මාස් සුන්තාලි පදනමයි. මෙම පදනම මගින් ඉදිවෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වනවිට බොහෝ දුරට ඉදිකිරීම් අවසන්ව ඇති අතර එම පදනම බලාපොරොත්තු වන්නේ මෙම ක්‍රීඩාංගණය ලබන වසරේදී වැඩ නිමකර ජාත්‍යන්තර ප්‍රවේශය සඳහා ලබාදීමටය.
මෙම ක්‍රීඩාංගණය ‘ගෞතම බුද්ධ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙස නම් කිරීමට දැනටමත් තීරණය කර තිබේ. එයට මුල් වූ හේතු කිහිපයක්ද වේ. ඒ, මෙම ක්‍රීඩාංගණය ඉදිවෙන ස්ථානයට ඉතාමත් ආසන්නයේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදුවූ ලුම්බිණිය පිහිටීමත්, සිදුහත් කුමරු හැදී වැඩුණු ප්‍රදේශය එය වීමත් නිසාය.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වේගයෙන් සිදුවන අතර මේ වනවිට ඉස්මතු වී ඇති කොරෝනා වයිරස අවදානම නිසා ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති බව සඳහන්ය. මෙම ක්‍රීඩාංගණයේ සියලුම නිර්මාණ කටයුතු සිදුවන්නේ ඉපැරණි නේපාල ගෘහ නිර්මාණ ශිල්පයට අනුව බව මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන ධර්මාස් සුන්තාලි පදනම පවසයි. මෙම ක්‍රීඩාංගණය සඳහා යොදවන සියලුම මුදල් සපයා ගනු ලබන්නේ එම පදනමට ජනතාව ලබාදෙන ආධාරවලින් බව ඔවුන් වැඩිදුරටත් පවසයි. මේ සඳහා දානපතීන් මෙන්ම මහජනතාවද ඉතා උද්යෝගයකින් හා නොමසුරුව තමන්ට හැකි පමණින් පදනමේ ගිණුමට මුදල් බැර කරන බව එම පදනම පවසයි.