E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රි ලංකා රජයන් දෙක අතර ගිවිසුම්වලට එළැඹිය යුතු බවත්, මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙනරත් යාපා මහතා,“2004 වර්ෂයේ සිට ශ්‍රි ලාංකිකයින් EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකරනු ලබනවා. ඒ වගේම පෑස්සුම්කරු (වෙල්ඩර්) රැකියාව සඳහා පුද්ගලික අංශය මගින් E7-4 යන වීසා කාණ්ඩය යටතේ පසුගිය කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකරනු ලැබුවා.
ඒ වගේම පසුගිය සමයේදී දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එහිදි අනාවරණය වුනේ කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමග ශ්‍රි ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි. මෙම E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා රජය මෙතෙක් කිසිඳු තීරණයක් අරගෙන නෑ වගේම කිසිඳු ගිවිසුමකට මෙතෙක් එළඹිලා නෑ. ඒ අනුව කෘෂිකාර්මික හා ධීවර රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීම සිදුවන්නේ නෑ.
අපිට තොරතුරු වාර්තා වෙනවා විවිධ පුද්ගලයින් E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා ශ්‍රි ලංකා රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ වගේම දකුණු කොරියානු තානාපති කාර්යාලය දැනුම්දීලා තියෙනවා E-8 වීසා කාණ්ඩය යටතේ පෞද්ගලික අංශයට ශ්‍රමිකයින් යොමුකරන්න බෑ කියලා. මෙම රැකියා සඳහා යාමට කිසිඳු අයෙකුට මුදල් ගෙවන්න එපා.”
එබැවින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.