අමාත්‍යාංශ 05ක ලේකම්වරුන්ට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාට, නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාට සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාට එලෙස අනුමැතිය හිමිව තිබේ.
ඊට අමතරව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියට සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඒ. කේ. කේ. රණවක මහතාට ද කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මේ අතර සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පී.එම්. අම්සා මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමටද අනුමැතිය ලැබුණු බව ධම්මික දසනායක මහතා කීය.