22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රනිල්- මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතම මේ ආණ්ඩුවත් ගෙනත්. මන්ත්‍රී ආචාර්ය ...

රනිල්- මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතම මේ ආණ්ඩුවත් ගෙනත්. මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

රනිල් – මෛත‍්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව ගෙනත් තිබෙන බව
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය………..
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව අන්තර් ජාලය ඔස්සේ පවත්වනව. 2018 මේ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වන විටත් විශ්වවිද්‍යාල ප‍්‍රජාව ඇතුළු බොහෝ අය විසින් එල්ල වූ විරෝධය නිසා පැවති ආණ්ඩුවට එය හකුලා ගන්න සිදුවුණා. මේ පනතේ තිබෙන භයානක කරුණු අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මෙහි ප‍්‍රධාන ගැටලූ 03ක් අපි දකිනවා. උසස් අධ්‍යාපනය විකෘතිවීම, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ උසස් අධ්‍යාපනය මිලිටරීකරණය වීම ඒ ප‍්‍රධාන ගැටලූ තුනයි.
උසස් අධ්‍යාපනය මේ පනත තුළින් විකෘති වෙන්නේ කොහොමද? මේ වෙනකොට රජය පවත්වාගෙන යන උසස් අධ්‍යාපනයේ පාලනය, තත්ව නියාමනය, වැනි දේ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන්. නමුත් මේ අලූත් පනත හරහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට වඩා බලයක් තිබෙන ව්‍යූහයක් මේක තුලින් නිර්මාණය කෙරෙනවා. මේ ව්‍යූහය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සමගාමීව කි‍්‍රයාත්මක වන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන ව්‍යූහයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පීඨ සභා, සනාථන සභා, පාලක සභාව සහ ඊටත් ඉහළින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තියෙනවා. සියල්ල පාලනය වෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. අලූත් පනතෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන්න මණ්ඩලයක් යෝජනා කරනවා. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතල රාශියක් ලැබෙනවා. මේ මණ්ඩලය ප‍්‍රධාන වශයෙන් ති‍්‍රවිධ හමුදාවල නියෝජනයක්, අමාත්‍යාංශයේ් නියෝජනයක් තිබෙන අතර උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් නියෝජනය වෙන්නේ නැහැ.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් පිට ඒ යටතේ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන පිහිටුවන්න සහ උපාධි ලබාදීමේ බලතල මේ මණ්ඩලයට හිමිවෙනවා. තත්ව පාලනය, උසස් අධ්‍යාපන නිර්ණායක, ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම, විභාග පැවැත්වීම, ආදී සියල්ල මේ මණ්ඩලයට පැවරෙනවා. මේ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ මහා භාණ්ඩාගරයෙන් නියෝජිතයන් දෙදෙනෙක් නාමිකව පත්කිරීමේ අවස්ථාව විතරක් තියෙනවා. නමුත් තීරණාත්මක වෙන්නේ ති‍්‍රවිද හමුදා නියෝජියන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන්. උසස් අධ්‍යාපනයේ සංස්කෘතිය, ගුණාත්මකභාවය, අධ්‍යාපන දර්ශනය වැනි දේවල් ගැන මේ අයට කිසිම අවබෝධයක් නැහැ. අනික් පැත්තෙන් විෂය ධාරාවන්ගේ ගුණාත්මකභාවය තීරණය කරන විශේෂඥයන් ඉන්න ඕනෑ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාල විෂය ධාරාවන් ගැන ස්ථාවර කමිටු පිහිටුවා තිබෙනවා. එවැනි කමිටු අලූත් පනතින් යෝජනා කර නැහැ. මේ ව්‍යුහය තුළ එවැනි විෂය ධාරාවල ගුණාත්මක වර්ධනයට අවස්ථාවක් නැහැ. හුදෙක් කළමනාකරණ ව්‍යූහයක් විතරයි තියෙන්නේ. උසස් අධ්‍යාපන ආයතන කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. වෙනම සංස්කෘතියක් තියෙන අනන්‍යතාවයක්.

ජාතික ජන බලවේගයේ ආචාර්ය අනුර කරුණාතිලක……….විශ්වවිද්‍යාල ක්‍ෂෙත‍්‍රය නියාමනය වෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සහ එයට එකතු කළ සංශෝධන මගින්. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර ගොඩනගල තියෙන්නේ ලංකාවේ අලූතින් පාඨමාලා හැදෙනකොට සහ වෙනස් කරනකොට ගුණාත්මකභාවය ඉහළ දමමින් පවත්වාගෙන යාමට. ඊට අදාල නියාමන කි‍්‍රයාවලියක් පීඨයේ සිට සිදුකෙරෙනවා. අවසානයේ තීන්දුව ගන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ඒ ඒ විෂය කමිටු සහ ඉන් පසුවත් තත්වාරක්‍ෂණ කමිටුවල අනුමැතියෙන් පසුවයි. මෙයින් කියවෙන්නේ ආයතනික ව්‍යුහය තුළ පුළුල් සහ විමර්ශනාත්මක කි‍්‍රයාවලියක් පවතින බවයි. යම් යම් අඩුපාඩුකම් මැද්දේ වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡුාවක් ඇතිවන පරිපාලන ව්‍යුහයක් විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා. නමුත් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පනත මගින් මෙය සම්පූර්ණයෙන්ම බැහැර කෙරෙනවා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් බැහැරව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ නව උසස් අධ්‍යාපන අවකාශයක් මේ පනතෙන් බිහි කරනවා. මෙය ආරක්‍ෂක අංශවලින් පරිබාහිරව සිදුකිරීම නිසයි මේ රටේ ජනතාවගේ විශේෂ අවධානය යොමුකළ යුත්තේ. මේ තුළ ඕනෑම උපාධියක් සම්බන්ධයෙන් ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නැති පාඨමාලා නිර්මාණය කෙරෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පත්කරන අය දේශපාලන පත්වීම් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පත් කරන්නේ විශ්වවිද්‍යාල සහ පරිපාලනය සම්බන්ධයෙන් යම් දැනුමක් සහ අත්දැකීම් සහිතවයි. නමුත් කොතලාවල ආරක්‍ෂක පීඨයේ පාලනයට පත් කරන්නේ මෙවැනි කිසිදු අධ්‍යාපනය සම්බන්ධ අවබෝධයක් තිබෙන අය නෙවෙයි. එවැනි පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ආදී සියලූ පාඨමාලාවල ගුණාත්මක තත්වයන් තීරණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මුදල් අය කිරීම තීරණය කිරීමේ බලයත් හිමි වෙනවා.
රජය මැදිහත් වෙලා මහජන මුදල් යොදවමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අවස්ථා නිර්මාණය කෙරෙනවා. මෙයින් ලබන ලාභය ආයෝජනය කිරීමේ ක්‍ෂේත‍්‍ර පිළිබඳව තීරණය කිරීමේ බලයත් මේ ආයතනයට හිමි වෙනවා. මෙයින් කියවෙන්නේ ලාභය ඉලක්ක කරගත් ව්‍යාපාරයක් රජයේ මුදලින් ආරම්භ කරන බවයි. ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන උපාධි පාඨමාලා මේ තුළ හඳුන්වා දීමෙන් අනාගතයේ මේ රටේ රාජ්‍ය සේවයටත් හමුදාමය මානසිකත්වයකින් යුතු පරිසරයක උපාධිධාරීන් ඇතුළත් වීමේ අනතුරකුත් තියෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ක්‍ෂෙත‍්‍රයේ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම එයින් බාහිරව සිටින සියලූම විද්වතුන්ගේත් විෂය ප‍්‍රවීණයන්ගේත් අවධානය යොමුවිය යුතු බව අප මෙහිදී දැඩිව ප‍්‍රකාශ කරනවා.

ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක………කොවිඞ් තත්වය තුළත් අප මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්‍ෂක පීඨ පනත පරාජය කිරීමේ ජන මතයක් ගොඩනැගීමඅත්‍යවශ්‍ය වී තිබෙන නිසයි. කොවිඞ් ප‍්‍රශ්නය මැද්දෙම ජනතාව තුළ අවශ්‍ය සංවාදයකට ඉඩ නොදී පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගන්න එක පැත්තකින් ආණ්ඩුව කි‍්‍රයා කරනවා. ඒ වගේම ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත අග‍්‍රාමාත්‍යවරයා ගෙනත් තියෙන්නේ ජනතාවගේ අවධානය යොමු නොවන පසුබිමකයි. මිනිස්සු තමන්ගේ සහ දරුවන්ගේ පණ බේරගන්න ඉතාම දුෂ්කර ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ අතර ආණ්ඩුව පික් පොකට්කාරයාගේ දේශපාලනය කරමින් ඉන්නවා. පික් පොකට් ගහන මිනිස්සු කෙනෙක්ගේ අවධානය වෙන පැත්තකට යනකං ඉඳලා ඒ වැඬේ කරන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව පික් පොකට්කාරයාගේ දේශපාලනයට ඇවිත් ඉන්නේ. රටම කොවිඞ් ගැන අවධානය යොමු කරලා තියෙන වෙලාවක පෝට් සිටි පනත ගේනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනත ගේනවා. අඩු ගානේ ආණඩුවකට ආවට පස්සේ කටයුතු කළ යුතු ආකාරයත් පැත්තකට දාලා. අපි ජනතාවට කියනවා මේ පික් පොටක් දේශපාලනයට අහු වෙන්න එපා කියලා.
හැම ආන්ඩුවක්ම ජනතාවට කරුණු ඉදිරිපත් කරන්නේ අධ්‍යාපන අවස්ථා අහිමිවීම ගැනයි. උදාහරණයක් හැටියට උපාධියක් ලබාගන්න විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් අහිමි වීම යොදා ගන්නවා. ප‍්‍රශ්න විසඳීමට වඩා ප‍්‍රශ්න ගසා කන්න කි‍්‍රයා කරන පාලකයන්. කොතලාවල විශ්වවිද්‍යාල පනත ගන්න ඕනැත් මේ පසුබිම තුළ. උසස් පෙළ විභාගයෙන් පස්සේ ඉගෙන ගන්න ඉතාම සීමිත අවස්ථාවක් රාජ්‍ය පද්ධතියේ තියෙන්නේ. මේ තත්වය තුළ මුදලට උගන්වන ආයතන වේගයෙන් බිහි කරමින් යනවා. මේ නිසා අපේ සමාජය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් මුදලට උගන්වන ආයතන පද්ධතියත් සමාන්තරව කි‍්‍රයාත්මක වෙනවා. පසුගිය කාලය පුරාම සල්ලිවලට උගන්වන ආයතන ගැන සාකච්ඡුාව විශාල වශයෙන් සිදුකෙරෙනවා. ඒ අතර මන්දගාමීව හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වී තිබෙන බවත් කියන්න ඕනෑ. මේ තත්වයන් දිනා ගැනීමේ විශාල භූමිකාවක් තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල නිසයි. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගල නිසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments