අද(26) වනවිට වාර්තා වී තිබෙන ආකාරයට රටේ ජනගහනයෙන් 170,000කට පමණ වෛරසය වැළඳී, 1269 දෙනෙක් මියගොස් තිබෙනවා. අපේ රටේ මේ වෛරසය පැතිරී යන බරපතළ ආකාරය මින් පැහැදිලියි. සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැඩි සංචරණ සීමා නොපනවා මේ චක්‍රය බිඳින්න බැරි බව ආණ්ඩුවට දැන්වූවා. ඒ වගේම විශේෂඥ වෘත්තීයවේදීන්ගේ සංගම් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඒ බව ඉල්ලා තිබුණා. ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා මේ වනවිට එම සීමා පැනවීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. කොවිඩ් වසංගත තත්වය නිසා පැනවූ දැඩි සංචරණ සීමා නිසා දෛනික ආදායම් උපයන්නන් බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග ඇහිරිලා. ගොවීන් සහ ධීවරයින්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න සැලැස්මක් නැහැ. ඒ වගේම ජනාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එසේ නොමැතිව වෙනත් ආකාරවලින් පීඩනය පුපුරා යා හැකියි. කොරෝනා දෙවැනි රැල්ල අවස්ථාවේදී මූලික අවශ්‍යතා සඳහා ජනතාව පොලිස් බාධක කඩාගෙන ආ හැටි අපි දැක්කා. ඒ වගේම එළවළු සහ මාළු නිෂ්පාදනය මිලදී ගැනීම සහ පුරවැසියන්ගේ අවශතාවය සඳහා බෙදාහැරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. අපිට ඉතාමත් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයත් මේ යාන්ත්‍රණයේ කොටස්කරුවන් කරගත යුතුයි.ඒ තුලින් ගැටලුකාරී තත්වයක් ඇතිවීම අවම කරගත හැකියි. සංචරණ සීමා යටතේ අපනයන කර්මාන්ත පවත්වාගෙන යාමට ආණ්ඩුව උත්සුක වෙනවා. නමුත් ඒවායේත් විශාල ගැටලුකාරී තත්වයන් මතුවී තිබෙනවා. පානදුර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අවුරුදු 34ක තරුණියක් කොවිඩ් නිසා මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම බියගම සහ අනෙකුත් කර්මාන්ත කලාපවල පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකිරීමේ නිසි වැඩපිළිවෙළක් නැහැ. මේ කලාපවල කොවිඩ් රෝගය වැළඳුනු සේවිකාවන්ගේ හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ වැටුප් නතර කිරීමට ක්‍රියාකර තිබෙනවා. ඒ වගේම පොදු සමාජයේ මළ ගෙදරක් වැනි අත්‍යාව්‍යශ කටයුතුවලට දැඩි සීමාවන් පවතිනවා. මේ වැනි තත්වයක් යටතේ දැඩි සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල අත්පත් කරගත යුතුයි. ඒ ප්‍රතිඵල අත්පත් කරගන්නේ නැතිනම් ආර්ථිකයට ඇතිවන බලපෑමත් සමාජයීය ජීවිතයට ඇතිවන බලපෑමත් ගඟට ඉනි කැපුවා වගේ වෙනවා. ජනතාව විශාල කැපකිරීමක් කරමින් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සංචරණ සීමා තුළ සාමූහිකව එකම අරමුණකට එන්න කියලා අපි ආරාධනා කරනවා. පුරවැසියන් විසින් සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. කොවිඩ් වෛරසය පාලනය කිරීමේදී ඇති වී තිබෙන ව්‍යාකූලත්වය පිළිබඳ පසුගිය කාලය තුළ ආණ්ඩුව තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා හොඳ සමාලෝචනයක් කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා නිහතමානී වී ඉතාමත් හොඳ පසුවිපරමක් සිදුකොට අදාළ තීන්දු-තීරණ දැඩිව සහ නිශ්චිතව ගත යුතුයි. එසේ නොකරන්නේ නම් මේ කැපකිරීම්වලින් කිසි ඵලක් නැහැ. ආණ්ඩුව විසින් මේ වෙනුවෙන් මූලික වැඩකොටස් කිහිපයක් කළ යුතු වෙනවා. ■ සමාජයේ බිඳවැටී තිබෙන දත්ත සහ තොරතුරු පිළිබඳව යළි විශ්වසනීයත්වය ගොඩනගන්න ඕනෑ. ඒ විශ්වසනීයත්වය බිඳ වැටීම පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා දෙන ලද දත්ත තොරතුරු පිළිබඳව ජනතාව විශ්වාස නොකරන තත්වයකට පත්වී තිබෙනවා. ■ ඊළඟට ආණ්ඩුව ලබාදෙන තීන්දු-තීරණ පැහැදිලිව නිශ්චිතව කෙනෙක් හෝ දෙදෙනෙක් ලබාදිය යුතුයි. අද ලබාදෙන තීන්දු-තීරණ පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව විවිධ ප්‍රකාශ කරනවා. සංචරණ සීමාවන් පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුවපැවැත්වූයේ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සංචාරක අමාත්‍යවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා විසිනුයි. ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව වගකිව යුතු කිසිදු නිලධාරියෙක් සහභාගි කරවූයේ නැහැ. නිරෝධායන නීති පිළිබඳව නිසි බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. හැබැයි ඒ වැනි නිලධාරීන් ප්‍රධාන තීන්දු-තීරණවලදී සහභාගි කර ගන්නේ නැහැ. නිරෝධායනය නීති ලිහිල් කිරීමේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබාගැනීම සම්බන්ධයෙන් තීන්දුවල විශාල ව්‍යාකූලත්වයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යළි විශ්වාසනීයත්වය ගොඩනගා ගත යුතුයි. ■ මෙය මර්දනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක්‍රියාදාමය එන්නත්කරණය බව ජනාධිපතිවරයා පමා වී හෝ පිළිගෙන තිබෙනවා. එය වෙනුවෙන් නිසි සැලැස්මක් ආණ්ඩුවට ඕනෑ. එසේ නැතිවආණ්ඩුව පැරණි, යටගිය, විකාරරූපී නාඩගම්වල නොයෙදිය යුතුයි. පැණිය, කරල්, වැනි දේවල් ප්‍රවර්ධනය නොකළ යුතුයි. ඡන්ද වේදිකාවේ ඡන්ද ලබාගැනීම සඳහා ජනතාව රවට්ටනවා වගේ වෛරසය රවට්ටන්න බැරි බව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තේරුම ගත යුතුයි. අප්‍රේල් මස මුල් සතියේදී ආණ්ඩුව කීවේ සෑම සතියකම සිකුරාදාට රුසියාවෙන් එන්නත් ලක්‍ෂයක් ලැබෙන බවයි. එහෙම ලැබුණාද? ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් ඇනවුම් කර තිබෙන බව කීවා. හැබැයි ඒ එන්නත් ලබාගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් මේ දක්වා සකස් කර නැහැ. ■ ජනගහනයෙන් 70%කට එන්නත් ලබාදීම සඳහා අඩුම ගානේ ලක්‍ෂ 140ක් අවශ්‍ය වෙනවා. මාත්‍රා දෙකටම ලක්‍ෂ 280ක් අවශ්‍යයි. සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵල ලබාගත හැක්කේ ඒ අනුව විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. එහි 40වැනි පිටුවේ ඉතාමත් පැහැදිලිව ජාතික සැලැස්ම ගැන සඳහන් වෙනවා. එහි මූලිකවම කොවිඩ් මර්දන සෞඛ්‍ය අංශ මූලිකවම එන්නත් කරන බවත්, අවුරුදු 60ට වැඩි අයට ඊළඟ ප්‍රමුඛතාවය ලබාදෙන බවත් ආදී වශයෙන් සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ අනුව එන්නත් ක්‍රමයෙන් වැඩියෙන් ලැබෙන විට සමාජයේ පළල් අවකාශයක් කරා ගෙනයනවා. ■ හැබැයි ආණ්ඩුවේ ප්‍රධානීන් තම තමන්ගේ අය වෙනුවෙන් කෝටා වෙන්කර ගත්තා. පොහොට්ටුවේ පක්‍ෂ කාර්යාලයකත් චන්න ජයසුමන අමාත්‍යවරයාගෙන් එන්නත් ලබාගෙන තිබෙනවා. අද කෙරෙන්නේ ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනයක්. ඔවුන්ට අනුව සුවිශේෂී ජීවිත සහ අවශේෂී ජීවිත කියලා බෙදීමක් තිබෙනවා. නමුත් පාරේ ඉන්න යාචකයාටත් ඒ වගේම ඇමතිවරයගේ බිරිඳගේ ඥාතිවරයාටත් තිබෙන ජීවිතවල වටිනාකම් සමානයි. මේ පාලකයන්ට ඔවුන්ගේ ජීවිත ‘සුවිශේෂී’ වන අතර මේ රටේ ජනතාවගේජීවිත ‘අවශේෂ’ ජීවිත හැටියට සලකනවා. ඒ මනෝභාවය නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කර තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශ පැත්තක තැබුවත් අඩුම තරමේ බුදු දහමේ මූලික මූලධර්මවලටවත් මේ පාලකයන් ගරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ සුවිශේෂී ජීවිත සහ අවශේෂ ජීවිත කියලා බෙදුවේ කොහෙද? පාලකයන්ට මේ රටේ ජනතාව ඉලක්කම් විතරයි.■ ආණ්ඩුව විසින්ම 2021 ජනවාරි 08වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ජාතික සැලසුම බිඳදමා තිබෙනවා. මෙය නැවත නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරනවා. ඒ අතරම හිතුවක්කාරි, තක්කඩි අත්හදා බැලීම් කරන්න එපා කියලා අපි කියනවා. බැසිල් රාජපක්‍ෂ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කියා තිබුණා යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙනාවේ පරීෂක්‍ෂා කර බලන්න කියලා. අත්හදා බලන්න නම් එයාගේ ගෙදර නතර කර ගන්න කියලා අපිට කියන්න සිදුවෙනවා. උදයංග වීරතුංගට සංචාරක ව්‍යාපාරය ලබාදෙන්න අත්හදාබැලීම් කරලා මේ ව්‍යසනය ඇතිකළා. කළු ආර්ථිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව අත්හදා බැලීමේ භූමියක් බවට පත්කළා. හැබැයි අත්හදා බලන්න තීන්දු ගත්ත කෙනා මේ වෛරසය පැතිරීමේදී ලංකාවෙත් නැහැ. ඒගොල්ලන්ගේ මව්බිමට ගිහිල්ලා. මේ හැම දේකින්ම පෙන්වන්නේ මේ පාලකයන් අමානුෂික පාලකයන් බවයි. ■ ඒ නිසා සංචරණ සීමාවලින් ප්‍රතිඵල ගන්න නම් ජනතාව තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකරමින් හැසිරවීම, දත්ත සහ තොරතුරු සහ තීන්දු තීරණ පිළිබඳ විශ්වසනීයත්වයත් සමාජය තුළ ඇති කිරීම, එන්නත් ලබාගැනීම සඳහා වේගවත් වැඩසටහනක් ඇති කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඒ සංවිධානයට අප විසින් ලබාදුන් වැඩපිළිවෙළ අනුව එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම සහ නැවත හිතුවක්කාරී මෝඩ අත්හදා බැලීම්වලට අපේ රටේ පුරවැසියන් බිලි නොදීම යන කරුණු අවධාරණය කරනවා. මේ කරුණු පිළිබඳව ජනතාවගේත් ආණ්ඩුවෙත් අවධානය යොමු කරවන්න කියන ඉල්ලීම දැඩිව සිදු කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…විවිධ රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් විවිධ ඉල්ලීම් ලැබී තිබෙනවා. එවැනි තත්වයක් ඇතිවී තිබෙන්නේ එන්නත්කරණය සඳහා ප්‍රතිපත්තියක් නැතිවීම නිසයි. ඒ නිසා තම තමන්ට තිබෙන වෘත්තීයමය බලය උපයෝගී කරගෙන එන්නත් ලබාගන්න උත්සාහ කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛත්වය දී තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ වැඩපිළිවෙළට මේක එකඟද? ජනගහනයෙන් 10%කට ප්‍රමාණවත් එන්නත් ලැබෙන විට වයස අවුරුදු 60ට ඉහළ පුරවැසියන්ට ලබාදීමේ සැලැස්මක් තිබුණා. මේ ආකාරයට නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ පුරවැසියන්ගේ වයස් කාණ්ඩවලට අනුව ඔවුන්ට එන්නත් ලැබෙන අවස්ථාව පැහැදිලි වෙනවා. හැබැයි එම නිශ්චිත අවස්ථාව ලබාදී නැති නිසා හැම කෙනාම අනියම් ලෙස ගන්න පෙළඹෙනවා. අඩුම තරමේ මරණය පිළිබඳ ප්‍රශ්නයක් හමුවේවත් මේ එන්නත්කරණ ක්‍රියාවලියට ධනය, බලය යෙදවීමෙන් වළකින්න කියලා නැවත නැවත අපි බල කරනවා. මේ ජනාධිපතිවරයා පිළිබඳ හදපු චිත්‍රය එක නීතියක්, එක රටක් කියලයි. හැබැයි අඩුම තරමේ එන්නත්කරණයේදීවත් එය සිදුකර නැහැ. ඒ නිසා මේ ‘වැක්සීන් දේශපාලනය’ නතර කරන්න කියලා අපි බල කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් වැඩපිළිවෙළට අනුව අද සිටවත් ක්‍රියා කරන්න කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා. මම කිසිවෙකුගේ ආශ්‍රිතයෙක් වෙලා නැහැ. අපිට විරුද්ධව දේශපාලනය කරන අය සීනි බදු, පොල්තෙල් බදු, වංචා සිදුකර ඇම්බියුලන්ස් වංචා කරන අය විවිධ ප්‍රචාර ගෙන යනවා. රාජපක්‍ෂ කඳවුරේ වෙබ් අඩවි ක්‍රියාකරුවන් අපට එරෙහිව අසත්‍ය ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා හැර වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ අසත්‍ය ප්‍රවෘත්ති තුළින් ඔවුන් යම් වින්දනයක් ලබනවා නම් ඒ ගැන අපට සතුටක් තිබෙනවා. ඔය වැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සඳහා තමන්ගේ ප්‍රචාරක බලකාය යොදවන්න එපා කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා. ඒ යෙදවීමෙන් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ ඔබ ඔබේ ප්‍රචාරක බලකාය කොවිඩ් මර්දනය සඳහා යොදවන්න කියන ඉල්ලීම අපි කරනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් වාහන මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. සමහර ප්‍රවෘත්තිවලට සියලු මන්ත්‍රීවරුන්ට කියලා සඳහන් වෙනවා. අපේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබාදී ඔවුන්ගේ ධුර කාලය අවසන් වූ විට එය ආපසු රජයට ලබාදිය යුතුයි කියන එකයි. ඒ වාහනයත් සරල වාහනයක් විය යුතුයි. අපේ ඒ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. නමුත් ආණ්ඩුව ඩොලර් 62,000ක් දක්වා තීරු බදු රහිත වාහන ලබාදීමේ ක්‍රියාමාර්ගයකට ගියා. ඒ වෙලාවෙත් අපි ලබගත්තෙත් ඩොලර් 15,000ක් පමණ වන කැබ් රථයක්. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ කැබිනට් පත්‍රිකාව අනුව ආණ්ඩුව විසින්ම වාහන අරගෙන මන්ත්‍රීවරුන්ට බෙදා දීමයි එය කිසිසේතම යෝග්‍ය ක්‍රියාවලියක් නොවෙයි. දැඩි සත්කාර ඒකකවල බරපතළ ඇඳන් හිඟයක් තිබියදී, ගිලන්රථ හිඟයක් තිබියදී, පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩිකළ යුතුව තිබියදී මෙය කිසිසේත්ම නොකළ යුතුයි. කොවිඩ් නිසා ජන ජීවිතය විශාල වශයෙන් කඩා වැටී තිබියදී ඔය වැනි වාහනයක් ලබාගෙන යන්න හිතක් දෙන්නේ මොන වගේ අයටද? මේක හරියට පාරේ නිදා ගෙන ඉන්න මිනිස්සුන්ගේ ඇඟ උඩින් ගල් රෝලක් අරන් යනවා වගේ වැඩක්. ඒ බව දැනෙන්නේ ජනතාව වෙනුවෙන් ඇත්ත අර්ථයෙන් පෙනී සිටින පාලකයන්ට පමණයි. හැබැයි මේ ගොල්ලෝ ජනතාවගේ ව්‍යාජ පාලකයන්. මේ ගොල්ලෝ හොරෙන් කරන්න ගිය වැඩේ ජනමාධ්‍යවලින් හෙළි කළා. අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කොවිඩ් වසංගතය ගැන දන්නේ නැද්ද? කැබිනට් පත්‍රිකාව දානකොට රටේ ඩොලර් හිඟයක් තිබෙන බව දන්නේ නැද්ද? මේ කැබිනට් පත්‍රිකාව දානකොට කහ, අමතර උපකරණ, ටයිල්, වගේ දේවල් නතර කර තිබෙන බව දන්නේ නැද්ද? මේ කැබිනට් පත්‍රිකා දැම්මේ වාහන ගේන්නමයි. නමුත් වැඩේ පත්තුවුණා. විශේෂයෙන්ම මාධ්‍යය, ජනතාවගේ විරෝධය ප්‍රකාශ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. විරෝධය හමුවේ අග්‍රාමාත්‍යවරයාම එය නතර කළා. ඊට පස්සේ අග්‍රාමත්‍යවරයා විසින් එය නතර කිරීම ගැන පින් අනුමෝදනා කරනවා කියලා ප්‍රචාරයන් යවනවා. මේ ගොල්ලෝ දෙබිඩ්ඩෝ. ඇත්ත මුහුණට අමතරව ඒ ගොල්ලන්ගේ බොරු මුහුණක් තිබෙනවා. හැම වෙලාවෙම පෙන්නං ඉන්නේ බොරු මුහුණ. මේ සිදුවීම් තුළින් ජනතාව මේ පාලකයන් පිළිබඳව තේරුම් ගන්න ඕන තරම් නිදසුන් තිබෙනවා.
ආණ්ඩුව ඡන්දය ගන්න ජනතාව රැවැට්ටුවාට වෛරස් එක රවට්ටන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක.
RELATED ARTICLES