සහල් ආනයනය සඳහා ජාත්‍යාන්තර ටෙන්ඩරයක් කැඳවීමට කටයුතු කරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ජූලි මාසය පුරාවට සහල් නිෂ්පාදකයන් රජයේ සහතික මිළට සහල් වෙළෙදපොලට මුදා හරින්නේ නම් සහල් ආනයනය කරන්නේ නෑ. එසේ නොකළොත් සහතික වශයෙන්ම සහල් ආනයනය කරන බවද හෙතෙම කියා සිටියි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්(26) වෙළෙඳ අමාත්‍යාංශයේදී සහල් ආනයනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය………. වත්මන් රජය බලයට පත් වීමත් සමඟම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සහල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද නමුත්, වර්තමානයේදී පාරිභෝගිකයාට දැරිය නොහැකි අසාමාන්‍ය මිළගණන් යටතේ සහල් අළෙවි කිරීමටත්, වී තොග සඟවමින් කෘතිම සහල් හිඟයක් මවාපෑමටත් උත්සාහ දැරීම තුළ මෙම සහල් ආනයනය කිරිම සඳහාපසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඬල රැස්වීමේදී තීරණය කෙරුණා.
ඒ අනුව අද දින රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියෙහි (WWW.STC.lk) මෙම සහල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යාන්තර ප්‍රසම්පාදන දැන්වීම පළ කරනවා. ඒ අනුව, විනිවිදභාවයකින් යුතුව මෙම ප්‍රසම්පාදන කටයුතු සිදු කරනු ලබනවා.
ජනාධිපති සමඟ සිදු කළ සාකච්ඡාවකදී ලබා ගත් තීරණය පරිදි,තවදුරටත් වී තොග හිමියන් හා සහල් තොග හිමියන් සඳහා අවස්ථාවක් ලබා දෙමින්, ජුලි මාසය නිමවන තෙක් මෙරට වෙළෙඳපොළේ සහල් මිළ, රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිළ යටතේ අවශ්‍ය තරම් තොග හිඟයකින් තොරව වෙළෙඳපොලට මුදාහරින්නේ නම් පමණක් සහල් ආනයනය සීමා කෙරෙනවා. ඒ අනුව මේ වන විට කැඳවා ඇති මිළ ගණන් යටතේ නිසි ක්‍රමවේදයකින් පසුව රජයේ ආරක්ෂිත තොගය සඳහා පමණක් මෙම සහල් තොගය ආනයනය කෙරෙනවා.
එමෙන්ම මෙරට පැවති සෑමදේම ආනයනය කිරීමේ සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා වත්මන් රජය පත් වීමෙන් පසුව ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වූ අමාත්යවවරයා, ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය බලයට පත් වීමත් සමඟ, ගොවීන්ට තම වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර, ජලය මෙන්ම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොල සැකසීමේ සිට රු.50/= දක්වා සහතික මිළ ඉහළ දැමීම තුළින් අපි කිසිදු අයුරකින් ගොවියාට හානියක් නොවන ලෙසත් වී සඳහා සාධාරණ මිළක් ලැබෙන ලෙසත් කටයුතු සැලසුවා. නමුත් දිගින් දිගටම මෙම ගොවීන්, සහල් නිෂ්පාදකයන් මෙන්ම සහල් වෙළෙඳසැල් සම්බන්ධයෙන් ඍජුව අධීක්ෂණය කරන විට අධික මිළට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා කටයුතු කළා. ලංකා ඉතිහාසයේ කිසිදු වරක සිදු නොවූ පරිදි අපි ගොවි ජනතාව ආරක්ෂා කළා. නමුත් වර්තමානයේදී සතොස හැර සෑම අලෙවි සැලකම සහල් මිළ අසාමාන්‍ය ලෙස මිළ ඉහළ දමා තිබෙනවා.
“මෙම තත්වය පිළිබඳ ජනාධිපති, කැබිනට් මණ්ඬලය හා ජීවන වියදම් කමිටුව සාකච්ඡා කර රට තුළ පවත්නා තොග සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළා. ඒ අනුව මෙරට ගොවියා වෙනුවෙන් සහල් ආනයන කටයුතු අත්හිටවුවත්, සහල් තොග වෙළෙඳපොලට නිකුත් නොකිරීමට මෙම සහල් නිෂ්පාදකයින් කටයුතු කිරීම නිසා පමණක් මෙලෙස සහල් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.”
එමෙන්ම රජයේ පාලන මිළ ඉක්මවන අවස්ථා වලදී ඒ සඳහා දඩය ලෙස රු.2,500/=ක් ගෙවීමට නියම කරන ලද නීති රෙගුලාසි ඇතුළත් වූ පාරිභෝගික සේවා අධිකාරී පනතේ විධි විධාන සංශෝධනය කරනු ලබන බවත්, ඒ අනුව රජය විසින් නියම කරනු ලබන උපරිම සිල්ලර මිළගණන් කඩ කරනු ලබන අවස්ථා වලදී ඒ ඒ පාර්ශ්වයන් සඳහා රු.100,000/=ක දඩයක් හා අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කරමින්, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අත්යයවශ්යඋ නීති රෙගුලාසි ඇතුළත් කරමින් පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය සඳහා ද කටයුතු කරනු ලබන බව අමාත්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
මහජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුණත්වයෙන් ඉහළ හා සාධාරණ මිළ ගණන් යටතේ ලබා දීම සඳහා රජය විසින් හැකි සෑම පියවරයක්ම ගනු ලබනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.