21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්සියලු අංශ කාර්යක්ෂම කර වඩා වැඩියෙන් විදේශ විනිමය උපයා දෙන තැනක් බවට...

සියලු අංශ කාර්යක්ෂම කර වඩා වැඩියෙන් විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම අපේ අරමුණයි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.අද(16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.” කහටගහ පතල පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා එම පතල් සංකීර්ණයේ නිරීක්ෂණයටත් කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ ඉහළ නිලධාරීන් සහ මෙම පතල් සංකීර්ණයේ සේවකයන් සමඟ සාකච්ඡාවකටත් අප අද මෙහි පැමිණියා. පතල් සංකීර්ණයේ සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අප තීරණ රැසක් ගනු ලැබුවා. එමගින් මෙම පතල දැනටත් වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපයාදෙන තැනක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබේවි” යනුවෙන් ද ඒ මහතා පැවැසීය.කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවකි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී. මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ක් කැණීම් කටයුතු මගින් ලබාගන්නා අතර එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීම පිළිබඳව ඉහත සාකච්ඡාවලදී අවධාරණය විය.එසේම මෙම අක්කර 102ක භූමිභාගයෙහි දැනට පවතින පොල් වගාවට අමතරව ඉඟුරු, කහ වැනි යටි වගාවන්ට සහ පලතුරු වැනි වගාවන්ට යොමුවී එමගින් අමතර ආදායම් ඉපයීම පිළිබදවද මෙහි දී අවධානය යොමු කෙරිණි.කැණීම්වලින් අනතුරුව මිනිරන් තොග සෘජු අපනයනයෙන් වැළකී අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කොට අපනයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට මිනිරන් කර්මාන්තය නව්‍ය ලෝක ප්‍රවණතා ඔස්සේ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන්නේය.මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති නීල් වත්තුහේවා, පතල් කළමනාකරු චානක රාජපක්ෂ, යාන්ත්‍රික ඉංජිනේරු උදය බෝකුලමුල්ල, ගණකාධිකාරි රිචඩ් කොස්වත්ත යන මහත්වරු ද එක්ව සිටි අතර සමෝධානිත මිනිරන් ව්‍යාපාර උපදේශන කණ්ඩායමක් නියෝජනය කරමින් තරුණ ව්‍යවසායක සමාධිත් උත්පල හා නීතිඥ මාධව විතාරණ යන මහත්වරු ද සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments