29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි, ආණ්ඩුව අසමත් කියන එක...

මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි, ආණ්ඩුව අසමත් කියන එක අද කුස්සියෙනුත් පේනවා.

මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි,ආණ්ඩුව අසමත් කියන එක අද කුස්සියෙනුත් පේනවා…
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.එහිදි අදහස් දැක්වු ඒ මහත්මිය මෙසේද ප්‍රකාශකළාය…..
මේ වනවිට කාන්තාවන් ඇතුළු රටේ පොදු ජනතාවට දැඩිව බලපාන කරුණු කිහිපයක් පිළිබඳව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ  අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලුම භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ද්‍රව්‍යවලට විශාල බදු ප්‍රමාණයක් නියම කර ජනතාවට පීඩාවට පත්කරන රටවල් අතර අපේ රට ඉහළින්ම තියෙනවා. ආණ්ඩුව කියන විදිහට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 65,000ක් අවශ්‍යයි. නමුත් මාසිකව රුපියල් 65,000ක් උපයන්න හැකියාව තියෙන පවුල් තියෙන්නේ කීයද? වතුකරයේ ජනතාවට තමන්ගේ දෛනික වැටුපෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වියදම් කරන්න වෙලා තියෙනවා. ග්‍රාමීයව ගත්තත් තත්වය මේ හා සමානයි. කොරෝනා වසංගතයෙන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න මොහොතේදී පවා අම්මලා කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට බතක් උයලා දෙන්නේ කොහොමද කියලා. මේ වෙලාවේදී ආණ්ඩුව අවශ්‍ය ගෑස් පවා ලබාදීමට අසමත් වෙලා. මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ ගෑස් සමාගම්වලට නෙවෙයි. මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට නෙවෙයි. ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් සහන මිලට ලබාගෙන ජීවත් වෙන්නයි. නමුත් ගෘහණියන්ට අද සිදුවී තිබෙන්නේ ගෑස් පෝලිම්වල පවා රස්තියාදු වෙන්නයි. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර විශාල ප්‍රමාණයක් විවිධ රැකියාවලට යන කාන්තාවන් සිටිනවා. ගෑස් ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වී තිබෙනවා. කොළඹ මහල් නිවාසවල ජනතාව ගෑස් ගෙන්වන්න පෝලිමේ ඉඳලා ගෑස් නැතිව හිස් අතින් යන්න සිදුවී තිබෙනවා. මේ තත්වය ඉබේ ඇතිවුණ එකක් නෙවෙයි. ගෑස් හිගයක් ඇතිවන බව ආණ්ඩුවත් ගෑස් සමාගමුත් දන්නවා. ගෑස් සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට බැඳී සිටිනවා. නමුත් තම පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමට නොහැකි බව සමාගම් තීරණය කරන්නේ රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීමෙන් විශාල පාඩුවක් දරන්න සිදුවී ඇති බව කියලයි. මේ නිසා ගෑස් බෙදාහැරීමෙන් ඉවත් වන බව සමාගම් කියනවා. නමුත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවී තිබියදී මේ සමාගම් විශාල ලාභයක් ගත්තා. නමුත් ගැටලුව වන්නේ මේ ආණ්ඩුවත් ගෑස් සමාගමුත් ලාභ අත්වෙනකොට විශාල වශයෙන් ලබාගන්නා ලාභයෙන් කොටසක් මේ අසීරු අවස්ථාවේ ලබා නොදීමයි. ඇත්තටම දැන් තිබෙන්නේ ආණ්ඩුව සහ ගෑස් සමාගම් එකතුවෙන් නිර්මාණය කරගත් අර්බුදයක්. ඒක කොරෝනා නිසා ආපු අර්බුදයක් නෙවෙයි. අවුරුදු 73ක් තුළ  රටේ පාලනය ජනතාවට අත්කර දී තිබෙන්නේ මොනවාද? අපේ ආර්ථික දේහය තුළ තිබෙන කශේරුව වැනි බලශක්තිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව ගෑස් අර්බුදයෙන් ඔප්පු වී තිබෙනවා. වෙනත් රටවල් නළ මගින් තමන්ගේ ජනතාවට ගෑස් ලබාදුන්නේ මීට අවුරුදු 100කට කලින්. උදාහරණයක් හැටියට 1950 වෙද්දී සෝවියට් දේශයේ සියලුම නාගරික නිවාසවලට නළ මාර්ගයෙන් ගෑස් ලබාදුන්නා. නමුත රොකට් යවනවා යැයි කියන ආණ්ඩුවට ගෘහණියන්ගේ ලිපට ගෑස් ලබාදෙන්න බැරිවුණා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිකිරීමෙන් හෙට දවසේ උද්ගත වන තත්වය මීට වඩා භයානකයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න ඩොලර් හිඟයක් තියෙනවා. මේ නිසා කළු කඩයේ ඩොලර් එකකට රුපියල්  250ක් විතර ගෙවන ව්‍යාපාරයක් තියනේනෙ. මේ නිසාම හිතුමතේ බඩුමිල ඉහළ දාන්න හැකි වෙනවා. ඒ වගේම 2020 දී කෘෂිකර්මාන්තයෙන් ජාතික ආදායමට ලැබුණු දායකත්වය රු. කෝටි 84,000යි. මේ ජාතික ආදායම ගොවියාගේ පොහොර ප්‍රශ්නයත් එක්ක කඩා වැටෙනවා. මේ නිසා ජනතාවගේ ආහාර ලබාගැනීම කඩා වැටෙනවා. ගොවියට පොහොර ටික නැතිවී කන්න බත් නැතිවෙනවා. ගෘහණියට ගෑස් නැතිව ලිප පත්තු වෙන්නේ නැහැ. පවතින විවෘත ආර්ථිකය තුළ අපේ රටේ සම්පත් විදේශ සමාගම්වලට දීමේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. ආණ්ඩුව අසමත් කියන එක අද වෙනකොට කුස්සියෙනුත් පෙන්වන්න පුළුවන්. ළමයාට අධ්‍යාපනයත් නැහැ. ලිප පත්තු කරන්න ගෑස් නැහැ. ගෘහණියට පාරට බැහැලා ගෑස් ඉල්ලන්න සිද්ධ වෙනවා නම් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ඔබව ජීවත් කරවන අලුත් ජීවිත මොඩලයක්, ජීවන දර්ශනයක් ඕනෑ බවයි. 
ආණ්ඩුවට දෙවියන්ගෙන් ඡන්දය ඉල්ලන්නයි වෙන්නේ…අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියමේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් සහ මිල ඉහළ යාම දිගින් දිගටම සිදුවෙනවා. මේ අසීරු අවස්ථාවේ ජනතාව මේ පීඩනය දරාගෙන ඉන්නේ එක පැත්තකින් රෝග බිය සහ අනෙක් පැත්තෙන් මර්දනකාරී ක්‍රියාමාර්ග අතර මැදයි. ඒ නිසා ඔවුන්ගේ හඬ නියෝජනය කරමින් ජනතාව වෙනුවෙන් අපේ සංවිධානය මෙම කරුණු පැහැදිලි කිරීම කරනවා. මේ ආණ්ඩුවට මුලින්ම කියන්න ඕනෑ, දැන් පීඩාවට පත්කරමින් ඉන්නේ ඔබව බලයට පත්කළ ජනතාව බව. මේ වසංගත මොහොතේ ආණ්ඩුව තීරණ ගත යුත්තේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. එහෙම නොවුණොත් ජනතාවට සිද්ධ වෙනවා තවදුරටත් පීඩනයන් දරාගෙන ඉන්නවාද කියන දේ කල්පනා කරන්න. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම වගේම පවතින දැඩි ගෑස් හිඟය සම්බන්ධයෙන් විවිධ කතා ආණ්ඩුව කියනවා. නමුත් ආණ්ඩුවට ජනතාව සම්බන්ධයෙන් වන වගකීම පැහැර හරින්න බැහැ. වසංගතය ඇතිවුණු මොහොතේ පටන් ආණ්ඩුව දූරදර්ශීව ක්‍රියා කළේ නැහැ කියන එක කවුරුත් දැන් දකිනවා. වසංගතය රටට ඇතුල්වුණු 2020 මාර්තු මාසයේ ඉඳලම ආණ්ඩුවට කිසිම පුරොකථනයක් තිබුණේ නැහැ. කොවිඞ් වසංගතය ගැන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ගැන, ඉන්ධන ඇතුළු  අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන, ජනතාවගේ ආදායම් මාර්ග කඩාවැටීම ගැන, විදේශ විනිමය උපයන මාර්ග කඩා වැටීම ගැන කිසිම පුරෝකතනයක් ආණ්ඩුවට තිබුණේ නැහැ. මේ නිසා කිසිම පෙර සූදානමක් ආණ්ඩුවට තිබුණේ නැහැ. එහෙම ආණ්ඩුවක් දැන් ජනතාවට සියලු චෝදනා පටවමින් ඉන්නවා. මේ රට තුළ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 101ක් භාවිතා වෙනවා. ඒ අතරින් ලක්‍ෂ 29ක් කහ පාට ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්. ඔවුන් මේ වනවිට දැඩි අර්බුදයකට ලක්වී සිටිනවා. අනෙක් පැත්තෙන් නිල් පාට ගෑස් සිලින්ඩර් භාවිතා කරන්නන්ට ඉල්ලුම ලබාදීමට අසමත් වී තිබෙනවා. නමුත් ආණ්ඩුව කියන්නේ කිසිදු ගෑස් හිඟයක් නැහැ කියලා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments