ජනාධිපතිගේ දරු මුණුබුරන් කොහේ ජීවත් වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා…. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා……..
කොවිඞ් වසංගතයේ වර්තමාන තත්වය අනුව එයින් ජනතාව බේරාගන්නට ක්‍ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. අපිට ඇහෙන්න දකින්න ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව අප ඉන්නේ වසංගතයේ නරකම අදියරක ආරම්භයේයි. මේ තත්වය නොසලකා හැරීමෙන් රෝහල් ධාරිතාවය ඉක්මවමින් ආසාදිතයන් ඇතුළත් කිරීමට සිදුවී තිබෙනවා. රෝහල්ගත ආසාදිතයන් 45,000කට වැඩියෙන් අද(19) දහවල් වනවිට වාර්තා වෙනවා. පළවෙනි රැල්ලේදී ඇමරිකාවෙත් ඉතාලියෙත් ඉන්දියාවේත් ඉන්දුනීසියාවෙත් මේ තත්වය මතුවුණා. ආසාධිතයන් දරාගත නොහැකි සෞඛ්‍ය පද්ධතිය අතිශය බරපතළයි. භෞතික පහසුකම්වලට වඩා ඒ කියන්නේ, දැඩි සත්කාර ඒකක, ඔක්සිජන්, වෙන්ටිලේටර් පමණක් නෙවෙයි රෝහල කාර්යමණ්ඩල පවා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නැහැ. අනෙක් පැත්තෙන් රෝහල් කාර්යමණ්ඩලයත් ආසාදිතයන් බවට පත් වෙනවා. හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් අට දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 28 දෙනෙක් ආසාදිතයන් වී තිබෙනවා. ඒ වෛද්‍යවරු අට දෙනාගෙන් හතර දෙනෙක්ම දැඩි සත්කාර ඒකකයේ වැඩ කරන අය. ඊයේ(18) වනවිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 265ක් ආසාදිතයන් වී තිබෙනවා. හෙද හෙදියන් ආසාදිතයන් වීම නිසා සමහර වාට්ටුවල සේවා මුරය මාරු කිරීමට නොහැකි වී තිබෙනවා. 18වැනිදා වනවිට වෛද්‍යවරු 200 ඉක්මවා, හෙද හෙදියන් 4,000 ඉක්මවා අපේ රෝහල් පද්ධතියේ සේවය කරන අය ආසාධිතයන් වී ඇති බව දැන ගන්නට ලැබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු 40කට ආසන්න ප්‍රමාණයක් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන් විශාල පිරිසක් ආසාදිතයන් වී තිබෙනවා. මේ වනවිට සෞඛ්‍ය කාර්ය සහායකයින් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත ගණනාවක් රටට අහිමි වී තිබෙනවා. මේ තත්වයන්ගෙන් පෙන්නුම් කරන්නේ වැඩිවන රෝගීන් ප්‍රමාණයට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය පද්ධතිය ප්‍රමාණවත් නැහැ කියන එක. පසුගිය මැයි මාසය පමණ වනවිට ඉදිකර තිබුණු අතරමැදි නේවාසික කඳවුරුවලට යොදවන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියේ නැහැ. අද තත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගන්න බැරි මට්ටමට පත්වී තිබෙනවා. අනෙක් පැත්තෙන් වෛරසයේ විකෘති ප්‍රභේදයන් තුනක් දැනටමත් ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ වගේ වෙලාවකදී ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට ආණ්ඩුවක් නිවැරදි මොහොතේදී නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට කැමති ක්‍රියාමාර්ග ගනිමින් හේතු දක්වනවා. ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය වෛරසය මැඩලීමට අදාළ නිවැරදි විද්‍යාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතේදී ගන්නේ නැහැ. යම් රෝගියෙකුට ආසාදනය වුණු මූලාශ්‍රය සොයා ගන්න බැරිනම් එය සමාජගතවීමක්. නමුත් ආණ්ඩුව මේ බව පිළිගන්න සූදානම් නැහැ. පසුගිය රැලිවලදී පෑලියගොඩ පොකුර, කිරිබත්ගොඩ පොකුර යනුවෙන් හඳුන්වා මූලාශ්‍රය දන්නා බව තහවුරු කරන්න උත්සාහ කළා. නමුත් මේ වනවිටත් ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්යසාධක බලකාය උත්සාහ කරන්නේ රෝගය සමාජගතවී නැති බව කියන්නයි. මේ තත්වය යටතේ ක්‍ෂණිකව විද්‍යානුකූලව රට වසා දැමීම හැර වෙනත් උත්තරයක් නැහැ. නමුත් රට වසා නොදැමීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් යොදවා රෝගය සමාජගත නොවීම ගැන ප්‍රකාශ සිදුකරනවා. ඒ වෙනුවෙන් බොරු දත්ත ඉදිරිපත් කර තිබෙන ආකාරය විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිතමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන සියල්ල විසින් හෙළිකර තිබෙනවා. අනෙක් පැත්තෙන් මේ වසංගතයේ ගැඹුර අවබෝධ කර ගැනීමට තිබෙන පී.සී.ආර්. හෝ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ අවශ්‍ය ප්‍රමාණයට සිදුකරන්නේ නැහැ. ජූලි 18 ඉඳලා අගොස්තු 16 දක්වා වැඩිම පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර තිබෙන්නේ අගෝස්තු 12 වැනිදා. පී.සී.ආර්. පරීක්‍ෂණ 20,362ක් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 7,098ක් සිදුකර තිබෙනවා. එක දිනකදී වැඩිපුරම කර තිබෙන්නේ 27,468යි. අනෙක් සියලුම දවස්වල මෙයින් 50%ක් ආසන්නයේ සිදුකර තිබෙනවා. ඩෙල්ටා වැනි ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙද්දී ලක්‍ෂය ඉක්මවූ පරීක්‍ෂණ සිදු කළ යුතුයි. නමුත් ආණ්ඩුව දැනුවත්ව එය හිරකරගෙන ඉන්නවා. පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම නවත්වා දමා තිබෙනවා. රෝගය පිළිබඳව නිවැරදි දත්ත ගෙන එන පරීක්‍ෂණ සීමා කර අනෙක් පැත්තෙන් ඒ පරීක්‍ෂණවලින් ලැබෙන ප්‍රතිඵලත් විකෘති කර ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව කොතරම් දුරට දත්ත සැඟවූවත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍යවලට අපි ස්තුතිවන්ත වෙනවා. ජූනි මාසයේ මැද ජනාධිපති කාර්යසාධක බලකාය සුවිශේෂී දෙයක් සිදුකර තිබුණා. ආසාධිතයන් 101ක් වාර්තා කළා කියලා වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාට දොස් නගා ඔහු කුමන්ත්‍රණයක් සිදුකළ බවට චෝදනා කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කර ජනාධිපතිවරයාට අවශ්‍ය අර්ථකතනයක් දුන්නා. මරණ වාර්තා වුණේ සෑම නිවසකටම බුද්ධි අංශ යවා නිවැරදි තොරතුරු ලබාගත් පසුව ඒ මරණ සංඛ්‍යාව හැට ගණනක් බව කියා තිබුණා. මරණ අඩුවෙන් පෙන්වන්න ජනාධිපතිවරයාට වුවමනා වී තිබුණා. මරණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටුපස ඉන්නේ ජනාධිපතිවරයා බව පැහැදිලියි. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා දත්ත වෙනස් කරන්නේ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් බව. ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කළ මේ චෝදනාවට අද වෙන තුරු පිළිතුරු ලබාදී නැහැ. ‘ආසාදියන් 28 දෙනෙකු හමුවුණාට රට වහන්න ඕනෑ’ නැහැ කියලා ඉන් නොනැවතී ‘මම තමයි හොඳටම කළේ’ කියන තැන දක්වාත් වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීම දක්වාත් සියලු සිදුවීම් ජනාධිපතිවරයාගේ වුවමනාව මත සිදු වූ බව තහවුරු වෙනවා.