21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසාහිත්‍යයසිංහල ආඛ්‍යාන කාව්‍යයේ 'තිමිර ඉර්තුව'

සිංහල ආඛ්‍යාන කාව්‍යයේ ‘තිමිර ඉර්තුව’

අනුර බී. සෙනෙවිරත්න

සිංහල ආඛ්‍යාන කාව්‍යයේ ‘තිමිර ඉර්තුව’

කෘතිය : තිමිර ඉර්තුව
කර්තෘ : තැන්නහේනේ නාහිත හිමි
ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශන
මිල : රු. 350/-

ආඛ්‍යාන කාව්‍යයේ මූලාරම්භය වාචික සම්ප්‍රදායන්ගෙන් වර්ධනය වූ බව කාව්‍ය ඉතිහාසයේ සඳහන් වේ. පුරාණ ග්‍රීක කවියෙකු වන හෝමර් සිය චිරප්‍රසිද්ධ ‘ඉලියඩ්’ සහ
‘ඔඩිසි’ යන කාව්‍යද්වය රචනා කළේ ඒ අනුව යමිනි. එහෙයින්, එම කාව්‍ය දෙක ම ආඛ්‍යාන කාව්‍ය ලෙස සැලකේ. ඉන් වසර බොහෝ ගණනකට පසුව ඒවා ලිඛිත භාෂාවෙන් ලේඛනගත වන තෙක් ම හෝමර්ගේ කෘතීන් පැවත තිබෙන්නේ මුඛ පරම්පරාගතව ය.

ආඛ්‍යාන කාව්‍යය සිංහල අපට අලුත් දෙයක් නොවේ. ‘සස දෙව්දාවත’, ‘මුව දෙව්දාවත’, ‘කව් සිළුමිණ’ වැනි අපේ ජාතක කතාවලින් පෝෂණය වූ එය අපට හමුවන්නේ අපේ චිරන්තන සාහිත්‍යයේ පටන් ම ය. ඉන් අනතුරුව එමග ගිය කිවිවරයන් අතර කුමාරතුංග මුනිදාස, මහගම සේකර, රත්නශ්‍රී විජේසිංහ, එලික් ඉලයප්පාරච්චි වැනි කවීන් කිහිපදෙනෙකු ම අපට හමුවේ.

කිසියම් කතාවක් ගැබ්ව ඇති කාව්‍ය නිර්මාණයක් ආඛ්‍යාන කාව්‍යයක් ලෙස අපට මතුපිටින් දැකිය හැකි වුව ද, එය එසේ නොවේ. කතාවක් කවියට නැගීමෙන් කාව්‍යයක් බිහිකළ හැකිවන්නේ පාදක ආඛ්‍යානය කාව්‍ය මාධ්‍යයට අනුව වෙනස්කර ගැනීමෙන් පමණි.’ යනුවෙන් ජිනදාස දනන්සූරිය සිය ‘කලාත්මක පරිකල්පනය – කාව්‍ය විචාර චින්තා’ කෘතියේ සඳහන් කරයි.

ඒ අනුව, ආඛ්‍යාන කාව්‍යයන් බොහොමයක් කිසියම් කතා වස්තුවක් තේමා කරගෙන නිර්මාණය වුව ද, ඒවායේ පාදක ආඛ්‍යානයන් කාව්‍ය මාධ්‍යයට අනුව වෙනස් කරගත් අවස්ථා බෙහෙවින් විරල ය. එසේ ම, නිශ්චිත කතා පුවතක් නොමැතිව දිවෙන ආඛ්‍යාන කාව්‍ය වුව ද, පාඨකයාගේ ඥානමය නිම්වළලු පුළුල් කරන අයුරින් නිර්මාණය වූ අවස්ථා අපට හමුවේ. එකී ආඛ්‍යාන ගණයට එක්වන්නට ගත් නවතම උත්සාහය තැන්නහේනේ නාහිත හිමියන්ගේ ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය යි.

සිංහල කවිය යතිවරයන් වහන්සේ අත පත් සෑම යුගයක ම එමගින් අපේ බස මෙන් ම, දෙස රැස ද පොහොසත් වූ බවට අපට බොහෝ සාක්ෂි තිබේ.
එසේ වූයේ, තොටගමුවේ ශ්‍රී රාහුල, වීදාගම මෛත්‍රී, වෑත්තෑවේ හිමියන් වැනි යතිවරයන් වහන්සේ ලෝකය පිරිසිඳ ලබා තිබූ ඇසූපිරූ තැන් ඇති බව නිසාම ය.

‘තිමිර ඉර්තුව’ නමැති මෙම නවතම ආඛ්‍යාන කාව්‍යය අපට පිරිනමන තැන්නහේනේ නාහිත හිමියන් ද එවන් ඇසූපිරූ තැන් ඇති උගත් යතිවරයෙකු බව මෙම ආඛ්‍යාන කාව්‍යය පුරා ම උන්වහන්සේ පළකර ඇති අදහස් හා මතවාද මගින් ගම්‍ය වේ.

ප්‍රස්තුතයට අනුව විටෙක එම අදහස් දාර්ශනික ය, විටෙක බෙහෙවින් සරල ය. ඒ කෙසේ වුව ද, එමගින් අද්‍යතන ජනසමාජය කියවීමට උන්වහන්සේ ගන්නා උත්සාහය පැසසුම් කටයුතු ය.

මීට පෙර පළව ඇති අප කවුරුත් දන්නා හඳුනන කුමාරතුංග මුනිදාසයන්ගේ ‘පියසමර’ කාව්‍යයෙහි ‘පියා’, මහගම සේකරගේ ‘ප්‍රබුද්ධ’ කෘතියෙහි ‘ප්‍රබුද්ධ’, රත්නශ්‍රී විජේසිංහයන්ගේ ‘තරු ලකුණ’ කාව්‍යයෙ හි ‘සුරත්’ වැනි චරිත අනුයමින් තැන්නහේනේ නාහිත හිමියන්ගේ ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යයේ එන මදාරා, ප්‍රසාද් හා සුමේධ යන චරිත ත්‍රිත්වය කාව්‍යය පුරා ම විටින් විට ඉදිරිපත්වෙමින් අපට ලෝකය පිරිසිඳ පෙන්වයි.

එදිනෙදා අප දකින බොහෝ දෑ හි අප නොදකින පාර්ශ්වය දකින්නට මෙහි දී නාහිත හිමියන් දරා ඇති උත්සාහය පහත කව්පද මගින් අපට පසක් කරදෙනු ලබයි.

‘මලක් ගනිමු ද මදාරා..?
විල් දිය’ඳුර බිඳ හිරු දුටුව..’

උන්වහන්සේ මලක් දකින්නේ ‘විල්දිය අඳුර බිඳ හිරු දුටු එකක්’ ලෙසට ය.

‘බුදු හිමියනුත් කැමතියි
අංකුරයන්ට
මඩෙහි ම ආයු නොහරින..’

උන්වහන්සේ අපට මේ පවසන්නේ උට්ඨාන වීර්යයෙන් නැගී සිටින්නට කියා නොවේ ද ?

‘කඩමු ! නටුව
ලංසුවෙයි නැතිනම්
වෙනත් ආශා පොදියක…’

අනුන් අත්පත් කරගනු ඇතැයි ලොබින් තමන් සතුකර ගැනීමේ ආත්මාර්ථය කෙතරම් ධ්වනිතාර්ථවත් ලෙස උන්වහන්සේ මෙසේ අපට පහදා දෙන්නේ ද ?.

බොහෝ සිංහල ආඛ්‍යාන කවීන් සමාජ, දේශපාලන සංචලතාවන් වස්තු විෂය කර ගන්නේ යම් සේ ද, නාහිත හිමියෝ ද සිය ආඛ්‍යාන කාව්‍යය නිර්මාණය කිරීමේ දී මෑතකාලීන සමාජ දේශපාලන සිදුවීම්වලට මැනවින් සංවේදී වෙති.

පසුගිය කාලය තුළ භික්ෂූන් වහන්සේට විඳින්නට සිදු වූ විවිධ තාඩන පීඩන පිළිබඳ අපේ මතක නාහිත හිමියන් අවදි කරන්නේ මෙසේ ය.

වාරියපොල සමිඳු සිටියානම් දැනට
උණ්ඩය විදින්නේ හෙළයාම ය හිසට
කිවිවර මිහිඳු හිමි සොහොනෙන් ගෙන උඩට
හැකිනම් දමයි හය මසකට හිර ගෙයට

සුළු ජාතික ඡන්දවලට ලොබ බැඳ පසුගිය කාලයේ ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක වූ සංහිඳියා වැඩපිළිවෙල උන්වහන්සේගේ විචාරක්ෂියට යොමුවන්නේ මෙසේ ය.

නාද කරමු ! ජය සංකා
ගමින් ගම පුරෙන් පුර
දෑ සමයේ ⁣යශෝරාව
ගයමු ! වයමු ! සිඳින්නට
සංහිඳියා බන්ධනය

මහගම සේකර කවියා ඔහුගේ ‘හෙට ඉරක් පායයි !’ කාව්‍ය සංග්‍රහයේ මෙසේ සඳහන් කරයි.

ඔබ හිනැහෙන විට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුළු ලොව
ඔබ අතැර සිනාසෙයි

තැන්නහේනේ නාහිත ස්වාමීන් වහන්සේ සිය ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය තුළ ඊට නව අරුත් සපයමින් අලුත් මානයක් කරා අප රැගෙන යන්නේ මෙසේ ය.

ඔබ හඬනා විට
හැඬිය යුතු ද මුළු ලොව
ඔබේ කඳුළින් තෙත්ව
පීඩා විඳිය යුතු ද ඔවුන්
ඔබ ම වෙනුවෙන්..

ජාතික හා ආගමික සමගිය ⁣වඩාලීම වෙනුවෙන් නිමැවුණු ධ්වනිතාර්ථවත් යෙදුම්වලින් ද ‘තිමිර ඉර්තුව’ බෙහෙවින් ම පොහොසත් ය. මෙය ඊට උදාහරණ යි.

මොකක් වුණත් මොක ද ?
දීපවාලි – රාමසාන් – වෙසක්
කෝකත් එක ම සඳ
සිත් පිරිසිදු කරන
බැඳීම් තිර කරන
නුරුස්සන්නේ මොට ද ?
එහෙව් ඇදහීමකට

ජාතික හා ආගමික සමගිය ගැන එසේ අප නැණස අවදි කරන නාහිත ස්වාමීන් වහන්සේ ආගමික අන්තවාදය හෙළා දකින්නට ද පසුබට වී නොමැති බව මෙහි එන පහත සිව්පද කවිය වැනි කවිවලින් ගම්‍ය වේ.

සමනොළ ගිරේ හඳපලුවත් කොටාපන්
මහවැලි දියේ පව් සොදා දමාපන්
සීගිරි කසුප් මොහමඩ් කර ලියාපන්
මහ වංශයෙත් පිටු ගලවා දමාපන්

ඒ මුස්ලිම් අන්තවාදය ගැන වන උන්වහන්⁣සේගේ දැක්ම ය. මේ බෞද්ධ අන්තවාදය යි.

කොන්ක්‍රීට් ඝණ ප්‍රාකාර
සුදු යකඩ සවි ගේට්ටු ද
පර්චස් බිම් අඟල් රැකුමට
තැනුමත් අන්තවාදය ම ය

නාහිත හිමියෝ තරුණ විරැකියාවට ද මෙසේ සංවේදී වෙති.

බම්බුවේ උපාධි සහතිකය
සැමරුමක්ව ෆයිල් කවරෙක
හන්දියේ පොටෝ කොපි යන්ත්‍රය
සැරින් සැරේ කියවයි බෝරිංව

තැන්නහේනේ නාහිත හිමියන් සිය ආඛ්‍යාන කාව්‍යය මගින් සිය විචාරක්ෂියට හසුකර ගන්නේ අද්‍යතන සමාජ සංස්ථාව පමණක් නොවේ. බුද්ධ පුත්‍රයෙකු වන උන්වහන්සේ බුදු සමය පවා අලුත් ඇසකින් බලන්නට උත්සාහ කරති.

අබිනික්මනට මත්තෙන්
ගෞතමයන් වහන්ස !
බැලූ සේක් නේද බිම්බාවගේ දෑස
සමවත් සුවයට එළැඹ
මට පවසනු මැන
කාරුණිකයාණන් වහන්ස !
අතැර යා නොහැක නේද
වරක්වත් ප්‍රේමනිය නොදැක

නාහිත හිමියන් විටෙක අප දන්නා ඓතිහාසික පුරාවෘත්තවල සාටෝපය සාහසික ලෙස සුනුවිසුණු කර දමන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය.

සීගිරි සිතුවම්වල
අප්සරාවන් කොහින් ද
පීතෘ ඝාතකයෙක් කෙළෙසූ
දාසියන් ය දුගී කුලවල
අල්ලස් දී සිත්තරුන්ට
මනරම්ව ඇන්ද වූ

ඉසුරුමුණි යුවල
රාජ ආඥාවට
හිස ගසා දැමූවන් ය
ජාති දෙකක උන්
පෙමින් බැඳුණු වරදට

⁣මෙසේ විවිධ සමාජ සංසිද්ධීන් දෙස වෙනස් ම ඇසකින් බලමින් ධ්වනිතාර්ථ කවි බසකින් එහි ඇති ගැඹුර අපූර්වත්වයකින් යුතුව සංජානනය කළ තැන් රැසක් ‘තිමිර ඉර්තුව’ ආඛ්‍යාන කාව්‍යය පුරා ම අපට හසුවේ.

‘තිමිර ඉර්තුව’ තැන්නහේනේ නාහිත හිමියන්ගේ කුළුඳුල් නිර්මාණය වුව ද, උන්වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ චිරන්තන සාහිත්‍යය සහ නූතන කවිසමය ගැඹුරින් ඇසුරු කර ඇති බව
සිය පළමු කෘතියෙන් ම අප වෙත පසක් කර සිටිති. එනිසා ම එය, උන්වහන්සේගේ කවිය පිළිබඳ හෙට දවසේ අපගේ සුපසන් අපේක්ෂාවන් මල්ඵල ගන්වන්නකි.෴

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments