21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්මුරලිට පණ පොවන සේදුපතිට තමිල්නාඩු ජන විරෝධය

මුරලිට පණ පොවන සේදුපතිට තමිල්නාඩු ජන විරෝධය

ශ්‍රී ලාංකික විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය චිත්‍රපටයකදී නිරූපණය කිරීමට සූදානම් වීම හේතුවෙන් දකුණු ඉන්දීය ජනප්‍රිය නළු විජේ සේදුපතිට බරපතළ මහජන විරෝධයක් එල්ල වී ඇත.

මුරලිගේ චරිතාපදානය පදනම් කරගනිමින් අධ්‍යක්ෂ එම්.එස්. ශ්‍රීපති අධ්‍යක්ෂණය කරන ‘800’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ජනප්‍රිය කොලිවුඩ් නළු විජේ සේදුපති තෝරාගත් බව පසුගිය සතියේ නිවේදනය කෙරිණි. එම චිත්‍රපටයට අදාළ ඩිජිටල් පෝස්ටරය පෙරේදා (13 වැනිදා) අන්තර්ජාලය ඔස්සේ මුදාහැරුණු අතර ඒ සමගම සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස විජේ සේදුපතිට එරෙහි විරෝධතාව නිර්මාණය වී ඇත.

පෝස්ටරය අන්තර්ජාලයට මුදාහැර පැය 24ක කාලයක් ඇතුළත ට්විටර් සමාජ ජාලය තුළ Shame on Vijay sethupaty (විජේ සේදුපති ගැන ලැජ්ජයි) නමින් හෑෂ්ටැගයක් (තේමාවක්) යටතේ දහස් ගණනින් තමිල්නාඩු වැසියෝ මේ වනවිටත් පණිවිඩ නිකුත් කරමින් සිටිති.

ඊට හේතු වී ඇත්තේ මෙම විරෝධතාකරුවන් විසින් මුත්තයියා මුරලිදරන්ගේ දෙමළ ජනතාව සංහාරය කළ රටින් පැමිණි පුද්ගලයකු ලෙස හැඳින්වීමයි. දෙමළ ජාතිකයකු වුවද දෙමළ ජනයා ‘සුළු ජාතියක්’ ලෙස වෙන්කොට සලකන ශ්‍රී ලංකාව නියෝජනය කරන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය රඟපෑමට භාරගැනීම පිළිබඳව විජේ සේදුපති ලැජ්ජාවට පත්විය යුතු බව දහස් ගණන් විරෝධතාකරුවෝ පවසා ඇත. ජනප්‍රිය දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සීනු රාමසාමිද පණිවිඩයක් නිකුත් කරමින් විජේ සේදුපතිගෙන් ඉල්ලා ඇත්තේ චිත්‍රපටයේ රඟපෑමට ගත් තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසයි. ‘‘මිනිසුන් අමතක කර සමාව දී ඉදිරියට යන බූරුවා. මේ මිනිහට කොන්දක් නෑ. චිත්‍රපටය පිළිබඳව කනගාටු වෙමි.’’

‘‘මුරලි යනු සමූල ඝාතනයකට සම්බන්ධ පිරිසක සාමාජිකයෙක්. ඔබටත් ඒ කණ්ඩායමේ සාමාජිකයකු වීමට අවශ්‍යද?’’

‘‘දහස් ගණනක් ද්‍රවිඩයන් ඝාතනය කරන, ඔවුන් සුළු ජාතිය ලෙස සලකන රටක ලේ පැල්ලම සිය පපුවේ දරා සිටීම පිළිබඳව ඔබ සතුටු වේවි. ඔබ පාවා දෙන්නෙක්’’ වැනි දැඩි ප්‍රහාර ඔස්සේ තමිල්නාඩු වැසියෝ විජේ සේදුපති මෙලෙස පරිභවයට ලක්කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments