බුදු දහමේ පදනම වූ පරෝපකාරය තමන්ගේ ජීවිතයේ පදනම කරගත් යොෂිඩා මැතිණියගේ අප රටට ඉටු කළ මහ දැවැන්ත සේවය වෙනුවෙන් ඇයගේ විසි දෙවන මෙම ගුණසමරුව අද (28) යෙදි තිබේ.
පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ මේ ලෝකයට කළ හැකි සේවය කොතෙක් දැයි අපට ගණනය කළ නොහැක.එසේ ගණනය කළ නොහැකි ,කළ සේවයේ වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් මහා සේවයක් කළ මහා පුණ්‍යවන්ත චරිතයකි ජපන් ජාතික තකිකෝ යොෂිඩා මැතිණියගේ ඇය උපන් බිම වූ ජපානයටත් වඩා ඇයගේ සේවය ලබා දුන්නේ අප රටටය. ලංකාවටය.
වර්ෂ 1908 අගෝස්තු මස 16 වන දින ජපානයේ කියුෂු (Kuyshu) ප්‍රාන්තයේ ප්‍රභූ පවුලක උපත ලැබූ ඇය පසු කලෙක ජපානයේ තෝකියෝ නුවර අතිශය ප්‍රකටවිසල් මහ රෝහලක් වන යොෂිඩා පෞද්ගලික රෝහලේ හිමිකාරිය බවට පත්වූවාය.එය පිහිටුවනු ලැබූයේ ඇයගේ සැමියා වෛද්‍ය කිෂි යොෂිඩා මහතායි.
තමන් උපයන ධනස්කන්ධය ගොඩ ගසා ගනිමින් සතුටු වන මේ ලෝකයේ මිනිසුන් අතරේ , යොෂිඩා මැතිණිය ඇයගේ ධනය අප රටේ බෞද්ධ ජනතාවගේ සහ දරුවන්ගේ යහපත සඳහා යෙදවීමට සහ තමන්ගේ පිහිට පිළිසරණ අවශ්ය තැනට නොමසුරුව යොමු කිරීමට පෙරමුණ ගත්තාය. මහායානික බෞද්ධ කාන්තාවක් වූ ඇය බොහෝ දුරට බැතිබර වූයේ ථෙරවාදී බුදු දහමින් පෝෂණය වූ ලංකාව දෙසටය.එයට පදනම සැකසෙන්නෙ ඉන්දියාවේ සාංචි නුවර දී ඇයට හමුවන බානගල උපතිස්ස හිමියන්ගේ ඇසුරිනි. පසුව ඔහුට වෙනම නිවසක් ලබා දී උන්වහන්සේගේ උසස් අධ්යානපනය කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නීය.
එහිදී බානගල හිමියන් උසස් අධ්‍යා පනයට තෝරාගනු ලබන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෙවත් පූර්ව ළමාවිය සංවර්ධන විෂයය.ජපානයේ පෙර පාසල් අධ්‍යාපනයට එරට අධ්‍යාපනයේ ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම ජපාන රාජ්‍ය ප්‍රතිපත්තියකි.
ඒ අනුව බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීම පරිදි යොෂිඩා මැතිණිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන සම්ප්‍රදායේ පෙරපාසල සපුගස්කන්ද අබේසේකරාරාමයේ ස්ථාපිත කරන්නීය. ඒ තකිකෝ යොෂිඩා මැතිණියගේ පූර්ණ අනුග්‍රහකත්වය සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් 1979 ජුනි 26 දා ආරම්භ කෙරුණු යොෂිඩා පෙර පාසල මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය විය.ජපානයේ පෙරපාසල් විශේෂඥයන් මෙරටට ගෙන්වා,පෙරපාසල් ගුරු පුහුණු ආයතනයක් අබේසේකරාරාමයේ ආරම්භ කරනු ලැබීය. ඒ තුළින් මෙරට විධිමත් පෙර පාසල් ගුරු පුහුණුව ලැබූ ගුරුවරියන් දහස් ගණනක් බිහි කරනු ලැබීය.ඒ සඳහා ශක්තිය ලැබුණේ ද යොෂිඩා මැතිණියගෙන්ය.
අප රටේ පෙර පාසල් පිළිබඳ දෙමවුපියන් තුළ උනන්දුවක් ඇතිවීම ආරම්භ වන්නේ යොෂිඩා පෙර පාසල් පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධිතව ජපන් පෙර පාසල් අධ්‍යාපන සම්ප්‍රදායේ පූර්ව ළමාවිය සංවර්ධන පෙරපාසල් රට පුරා ස්ථාපිත කිරීමත් සමගය. හොරණ, නුවරඑළිය, බානගල,මරදාන මාලිගාකන්ද,පොළොන්නරුව,මහනුවර,දඹදෙණිය,දිවුලපිටිය,මාතර,බද්දේගම,නාවුල,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේඇතුළු ප්‍රදේශ රැසක යොෂිඩා පෙර පාසල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කරනු ලැබීය.
බානගල උපතිස්ස හාමුදුරුවන්ගේ උපදෙස් හා අනුශාසනා මත යොෂිඩා පෙරපාසැල තුලින් දරුවන්ට ලබාදෙන අංඟ සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය පිළිබඳ අපේ ග්‍රාමීය මට්ටමේ දරුවන්ටත් ලබාදීමේ වැඩසසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මැදිහත්ව කටයුතු කිරීමට ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ අවධානයට ලක්වී තිබෙන බව එහි සභාපති උපුල් ජයසිංහ මහතා කීවේය.