24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දැන් තිබෙන්නේ ‘කොමා’ තත්වයට පත්වුණු ආණ්ඩුවක්-ජ.වි.පෙ.නායක අනුර කුමාර දිසානායක

දැන් තිබෙන්නේ ‘කොමා’ තත්වයට පත්වුණු ආණ්ඩුවක්-ජ.වි.පෙ.නායක අනුර කුමාර දිසානායක

අපේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය විශාල දුෂ්කරතාවයකට පත්කොට තිබෙනවා. මෙම ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් අනුගමනය කොට තිබෙන ආර්ථික ප්‍රතිපත්තියත් වර්තමාන ආණ්ඩුවේ දැක්මක් නැති අයාලේ යන වංචාව, දූෂණය, නාස්තිය ප්‍රමුඛ කොටගත් පාලනය විසින් ඇති කරන ලද තත්වයේ ප්‍රතිඵලයක්. මේ ආර්ථිකයේ කඩා වැටීම අද සාමාන්‍ය ජන ජීවිතයට විශාල බලපෑමක් ඇතිකොට තිබෙනවා. පෙට්‍රල් ෂෙඞ් ආසන්නයේ විශාල දිගු පෝලිම් ගැසී තිබෙනවා. තමන්ගේ දෛනික වැඩකටයුතු කර ගැනීම සඳහා තමන්ගේ වාහනයට තෙල් ලබාගැනීමට, ගොවි ජනපදවල ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න නෙළා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණවලට තෙල් ලබා ගැනීමට, ධීවර ජනතාව මුහුදු රස්සාවට යන්න තෙල් ලබාගැනීමට පෝලිමේ ඉන්නවා. ගොවි ජනතාව තමන්ගේ වගාවන්ට වතුර ලබාදීමට මෝටරයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ ඉන්නවා. ඒ නිසා මේ අර්බුදය විශාල තෙල් හිඟයක් ඇතිකොට තිබෙනවා. එහි බලපෑම සමාජයේ සෑම තරාතිමකම ජන කොට්ඨාසයන්ට බලපෑම් කර තිබෙනවා.

තෙල් හිඟයත්, අනෙකුත් කළමනාකරණ ප්‍රශ්නත් ආණ්ඩුව තමන්ගේ වංචා දූෂණ පිළිබඳ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ඒමත් හේතුකොට ගෙන අද විදුලි බල ක්ෂේත්‍රයේ විශාල ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. අද දිනය වන විට පැය හත හමාරකට අධික කාලයක් විදුලිය කැපීම සඳහා යෝජනා කර තිබෙනවා. මේ පෙන්නුම් කරන්නේ අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ මෙතෙක් ඇති  වී තිබෙන දැවැන්තම අර්බුදය සහ ගැටලුවලට මුහුණ දී තිබෙන බවයි. එපමණක් නොවෙයි, මේ ඩොලර් හිඟය විසින් භාණ්ඩ ආනයනය කරන විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්කොට තිබෙනවා. ඒ වගේම අපනයනකරුවන් එවැනිම විශාල ගැටලු රාශියකට මුහුණ පා සිටිනවා. බොහෝ නැව් සමාගම් ලංකාවේ වරායට එන එක ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසාම අපනයනකරුවන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා විශාල කාලයක් රස්තියාදු වීමට සිදුවෙලා තිබෙනවා. කර්මාන්තකරුවන්ට, නිෂ්පාදකයන්ට තමන්ට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපියක් නිකුත් කර ගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් බරපතළ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවෙලා තිබෙනවා. ඖෂධ සමාගම්වල ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ගේ සංසදය පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ වන විටත් අත්‍යවශ්‍ය බෙහෙත් විශාල ප්‍රමාණයක් හිඟ වී තිබෙන බවත් මේ හිඟතාවය තවදුරටත් වර්ධනය වන බවත් ප්‍රකාශ කොට තිබුණා. බෙහෙත් නැතිවෙන තත්වයක්, ආහාර හිඟවන තත්වයක් මතුවී තිබෙනවා.

නමුත් මේ පිළිබඳ හැඟීමක් දැනීමක් නැති ‘කොමා’ තත්වයට පත්වුණු ආණ්ඩුවක් අප හමුවේ තිබෙනවා. මෙම අර්බුදයේ දිග පළල පිළිබඳ දැක්මක් හෝ එය විසඳීම සඳහා සැලැස්මක් නැති බවයි මෙයින් පෙන්නුම් කරනුයේ.  ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ දරන්නේ මෙම තත්වයට හේතුව කොවිඞ් වසංගතය නිසා ඇතිවූ බවක් පෙන්නුම් කිරීමටයි. ආර්ථිකයට කොවිඞ් නිසා බලපෑමක් සිදු නොවූවාම නොවේ. නමුත් මේ ඇති වී ඇති තත්වය කොවිඞ් වසංගතය නිසාම ඇතිවූවක් නොමෙයි.

අපේ රටට එන ඩොලර්වලින් තනි ඒකකයක් හැටියට වැඩිම ප්‍රමාණයක් එන්නේ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙනුයි. බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය වැනි ඒ රටවල් පද්ධතියේම විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණ ආදායම 2020 වසරට සාපේක්ෂව 2021දී වැඩිවී තිබෙනවා. හැබැයි අපේ රටේ ඒ ආදායම අඩුවෙලා තිබෙනවා. එය කොවිඞ් වසංගත තත්වය හේතුකොට ගෙන නොවෙයි. ගිය වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි මාස පහේම 2020ට සාපේක්ෂව 2021දී විදේශීය සංක්‍රාම අපට ලැබීම වැඩි වුණා. 2020 ජනවාරි මාසයේ මිලියන 581යි. 2021 ජනවාරි මිලියන 675යි. මිලියන 94කින් වැඩිවී තිබෙනවා. 2020 පෙබරවාරි මාසයේ මිලියන 527යි. 2021 පෙබරවාරි මිලියන 580යි. වැඩිවීම මිලියන 33කින් සිදුවී තිබෙනවා. 2020 මාර්තු මාසයේ මිලියන 492යි. 2021 මාර්තු මිලියන 612යි. මිලියන 120කින් වැඩිවී තිබෙනවා.2020 අප්‍රේල් මාසයේ මිලියන 375යි. 2021 මිලියන 519යි. මිලියන 144කින් වැඩිවී තිබෙනවා. 2020 මැයි මාසයේ මිලියන 432යි. 2021 මිලියන 460යි. මිලියන 28කින් වැඩිවී තිබෙනවා. ආණ්ඩුව පවසන්නේ විදෙස්ගත රැකියාවන් සඳහා පිටත්ව යාම අඩුවීම මේ විදෙස් සංක්‍රාම නොලැබීමට හේතුව ලෙසයි. සත්‍යය එය නෙමෙයි. 2020ට සාපේක්ෂව බැලුවහොත් මුල් මාස පහේම මිලියන 439කින් වැඩිවී තිබෙනවා. නමුත් ජුනි මාසයේ සිට සිදුවූයේ කුමක්ද? ජුනි මාසයේ සිට මෙම තත්වය වේගයෙන් කඩාවැටීමකට ලක්වී තිබෙනවා. 2020 ජුනි මාසයේදී ලැබුවේ මිලියන 573යි. 2021 ජුනි මාසයේදී 478යි. මිලියන 95කින් 16%කින් කඩාවැටීලා තිබෙනවා. මේ තත්වය පිළිබඳ මම පාර්ලිමේන්තුවේදිත් ප්‍රකාශ කළා. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියා. මේ සඳහා ඉක්මන් පිළියම් නොයෙදුවහොත් මේ කඩාවැටීම තවත් වර්ධනය විය හැකි බව. ජුලි මාසය වන විට 35%කින් කඩා වැටීම සිදුවුණා. සැප්තැම්බරයේදී 49%කින් කඩා වැටීම සිදුවුණා. ඔක්තෝබර් 50%කින්. දෙසැම්බර් 60%කින්. පසුගිය ජනවාරියේදී 62%කින්. ජනවාරියේ සිට මැයි මාසය දක්වා මිලියන 439ක් 2020ට සාපේක්ෂව වැඩිවෙන කොට ජුනි මාසයේ සිට දෙසැම්බර් දක්වා ඩොලර් මිලියන 2055ක් අඩු වුණා. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 02ක් මාස හතකදී අඩුවී තිබෙනවා. 2020ට සාපේක්ෂව විදෙස් සංක්‍රාම විශාල ලෙස අඩුවී තිබෙනවා. නමුත් සිදුවිය යුතුව තිබුණේ 2020ට සාපේක්ෂව 2021දී මිලියන 500කින් වත් ඉදිරි මාස හතේදී වැඩිවීමක්. 2021 ජනවාරි මාසයේ අපට ලැබුණේ මිලියන 675යි. මේ වසරේ ජනවාරි මාසයේ දි මිලියන 259යි. ඒක මිලියන 482ක අඩුවීමක්. ඒ කියන්නේ 62%ක්. 2020ට සාපේක්ෂව මාස 8කදී විදෙස් සංක්‍රාම මිලියන 2494කින් ඒ කියන්නේ බිලියන 2.5කින් අඩුවී තිබෙනවා.

අද තෙල් නැවක් බාගැනීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 30යි. මසකට අවශ්‍ය තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 400ක පමණ ප්‍රමාණයක්. සෑම රටකම විදෙස් සංක්‍රාම වැඩිවෙන කොට අපේ රටේ අඩු වුණේ ඇයි? මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ මේ ආණ්ඩුවත් නිසි දැක්මකින් සහ වැඩපිළිවෙළකින් කටයුතු කිරීමට අසමත් වීම මීට හේතු වුණා. ඩොලර් බිලියන 7.5ත් 8ත් අතර ප්‍රමාණයක් වුණු, අපට ප්‍රධානම ඩොලර් ලැබීමේ ශුද්ධ ප්‍රභවයක් වුණු විදෙස් සංක්‍රාම කඩාවැටීමට ඉඩ හැරියා.

එපමණක් නොවෙයි මෙතරම් ඩොලර් අර්බුදයක් තිබියදී පොහොර ඇටයක් හෝ ග්‍රෑම් එකක් හෝ අපේ රටට ලබාගන්නේ නැතිව ඩොලර් මිලියන 09ක පමණ වූ වන්දියක් චීනෙට ගෙව්වා. අපට මාස දෙක තුනකට අත්‍යවශ්‍ය වූ ඖෂධ ආනයනය කළ හැකි වියදම, කුණු පොහොර නැවකට නිකරුනේ ගෙවා දැමුවා. මේවාට වගකිව යුත්තේ කවුද? ඇමති ශශේන්ද්‍ර රාජපක්ෂ, කැබිනට් පත්‍රිකාව දැම්මේ මහින්දානන්ද අලුත්ගමගේ අනුමත කළේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය. මෙවන් අර්බුදයක් තිබියදී පාලකයන් ඩොලර්වලට කළේ මෙවන් අමනෝඥ ක්‍රියාවන්.

එපමණක් නොවෙයි නැනෝ නයිට්‍රජන් ආනයනයේදී කළ වංචාව. ඉන්දියානු සමාගම නැනෝ නයිට්‍රජන් ඔවුන් අලෙවි කරනවා වගේ තුන් ගුණයකටත් වඩා අධික මිලකට තමයි ලංකාවට ආනයනය කළේ. අපි මෙය පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිව ඉදිරිපත් කළා මෙම නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම පිළිගත් ප්‍රසම්පාදන ක්‍රමයවත් අනුගමනය කළේ නැහැ. රජය භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපිය නිකුත් කරන්නේ සැපයුම්කරුවාටයි. හැබැයි නැනෝ නයිට්‍රජන් ගේනවිට සල්ලි දෙන්නේ ඒජන්තවරයාටයි. ටවුන්හෝල් ශාඛාව, මහජන බැංකුවේ ශාඛාව ඒජන්තවරයාගේ ගිණුමට තමයි භාණ්ඩාගාරයෙන් කෙලින්ම මුදල් ගෙව්වේ. මෙවන් අර්බුදයක් තිබියදී ඒ ආකාරයෙන් තමයි මුදල් හොරකම් කළේ. මියන්මාරයෙන් සෑම රටකටම සහල් අපනයනය කළේ මෙට්්‍රක් ටොන් එකක් ඩොලර් 350කට. නමුත් ලංකාවට සහල් මෙට්්‍රක් ටොන් එකක් එව්වේ ඩොලර් 450කට. එයින් අපට සිදුවන අවාසිය ඩොලර් 100යි. මෙට්්‍රක් ටොන් ලක්ෂ තුනක් ගේන්න ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ලක්ෂයක් ගෙනාවා. අවාසිය ඩොලර් ලක්ෂ 100යි. ලක්ෂ තුනට ගත්තොත් ඩොලර් මිලියන 30යි. ඩොලර් මිලියන 30ක් කියන්නේ තෙල් නැවක්. තෙල් නැවක් ගොඩබා ගන්නඩ යන වියදමට සරිලන වියදමක් අතිරේකව මියන්මාරයෙන් හාල් ගේන්න වියදම් කරනවා.
මෙවැනි අර්බුදයක් අවස්ථාවේ අපට සහල් ගෙන්වන්න සිදුවුණේ ඇයි? හාල් මෙට්්‍රක් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරන්න තීරණය කරලා තිබෙනවා. ඩොලර් මිලියන 135ක්. මහ කන්නයේ අස්වැන්න වැඩියෙන්ම ලැබෙන කාලයේ අපට සහල් ආනයනය කරන්න සිදු වුණේ නැහැ. වැඩිම අස්වැන්න ලබන කාලයේ අපට සහල් ආනයනය කරන්න සිදුවුණේ ජනාධිපතිවරයා විසින් ගනුලැබූ හිතුවක්කාරී, සැලසුමක් නැති තීරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසාම මාස දෙක තුන ඇතුළත ඩොලර් මිලියන 135ක් වියදම් කරන්න සිදුවෙලා තිබෙනවා. මේවා තමයි ඩොලර් නැතිවීමට හේතු. ලැබිය යුතු ආදායම් මාර්ග නිසි පරිදි ලබාගැනීමට අපොහොසත් වුණා. ඒ වගේම අපේ රට තුළ අවශ්‍ය සහල් නිෂ්පාදනය කරගැනීමට අපොහොසත් වුණා. එකේ ප්‍රතිවිපාක ලෙස අපේ පොදු ජනතාව දුක්විඳිමින් ඉන්නවා.  

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
අපට ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. මේ අර්බුදය ඉදිරියට යාමට නොදී වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවාද යන්න සලකා බැලීම. නමුත් අපි හිත්නනේ මේ ආණ්ඩුව එසේ ඇහුම්කන් දෙන, නිහතමානී, තමන්ගේ අඩුපාඩුකම් භාර ගන්නා ආණ්ඩුවක් නෙමෙයි. මේක උද්දච්ච අත්තනෝමතික ආණ්ඩුවක්. විශේෂයෙන් මේ රාජපක්ෂ පවුල එවැනි පවුලක්. සියල්ල දන්නේ තමන් යැයි ඔවුන් හිතනවා. පාලනය කළ හැක්කේ තමන්ට පමණක් යැයි ඔවුන් හිතනවා. ඒ නිසා මේ ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කිරීමෙන් පලක් නැහැ.
අනෙක් කරුණ අපේ පාලනයක් යටතේ මෙයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. මේ අර්බුදය තීව්‍ර වීමට ඉඩ නොදෙන බවට සහතික වෙනවා. දැනටමත් ඩො.බි. 2.5ක පමණ මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අහිමි වී තිබෙනවා. එමනිසා අපි එම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් අඩුවීම වළක්වා ගැනීම සඳහා සැලසුම් හදනවා. ඒවගේම තවත් ඩො. බිලියනයක පමණ අතිරේක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගියදා බන්දුල ඇමතිවරයාත් ඩො. 100 ගාණෙවත් එවන්න කියා කියා තිබුණා. නමුත් මෙයාලට කවුරුවත් එවන්නෙ නෑ. ඇමතිගෙ බිල එක්කෝටි විසි ලක්ෂයයි කියලා දැක්කහම ඔවුන් එක ඩොලරයක් එවන්නේ නැහැ.
අනෙක් කරුණ අපි යම් ආනයන සීමාවලට යන්න ඕනෑ. ගිය අවුරුද්දේ අපේ ආනයන වියදම ඩො.බි. 20.6යි. අපනයන ආදායම ඩො.බි. 12.5යි. එනම් ඩො.බි. 8.1ක හිඟයක් තිබෙනවා. මෙය අඩු කර ගත යුතුයි. මෙය තුළ හාල් වියදමත් තිබෙනවා. මෙය කන්න දෙකකින් විසඳා ගත හැකියි. අපි අපේ අත්‍යාවශ්‍ය ආහාරපාන සම්පූර්ණ කර ගත හැකියි. ආනයන වියදම් අඩු කර ගැනීමටත් අපනයන ආදායම වැඩි කර ගැනීමටත් අපට සැලසුමක් තිබෙනවා. විදෙස්ගතව සිටින ආයෝජන හැකියාවක් ඇති ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා. ඔවුන් දැන් එන්නේ නැහැ. මේ දේශපාලකයන් පිටුපස යාමට ඔවුන් කැමති නැහැ. අපේ රටේ අලුත් ආර්ථික ප්‍රභවයන් තුළ ආයෝජනය කිරීමට අපි ආරාධනා කරනවා. අපේ රටේ ණය වාරිකය ඩො.බි. 6.9ක් පමණ වනවා. රටට ලබා ගත් ණය පිළිබඳව විගණනයක් සිදු කර එම ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා තිබේද යන්න විමසා බලනවා. අපි ජාතික ආර්ථික සැලැස්මක් සමග ණය ලබාදුන් පිරිස් හමුවෙනවා.  එය විනිවිද පෙනෙන සාකච්ඡාවක්. එමගින් අපේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට අපේක්ෂා කරනවා. එවැනි සැලැස්මක් සකස් කළහොත් මේ අර්බුදය අපට කෙටි කාලයකට පියමන් කරගන්න පුළුවන්.
කෙසේ වුවද එය ස්ථාවර වන්නේ නැහැ. ඒ වෙනුවෙන් මධ්‍ය කාලීන හා දිගු කාලීන ඩොලර් උපයාගැනීමේ මාවතක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි විශාල ආර්ථික සැලසුමක් අපට තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ගෙන යා හැක්කේ කොතැනටද? ස්වභාවික සම්පත්වල කොපමණ ආයෝජන කළ හැකිද? තොරතුරු තාක්ෂණය මගින් අද ලෝකයේ තෙල්වලට වඩා ආදායම් උපයනවා. ලෝකයේ මෘදුකාංග වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමට වේගවත් සැලසුමක් හැදිය යුතුයි. ඒ වගේම දියුණු හ්‍රම වෙළපොළෙන් පංගුවක් අත්පත් කර ගත යුතුව තිබෙනවා. එවැනි මධ්‍ය හා දිගු කාලීන වැඩපිළිවෙළක් දියත් කළහොත් වැටී තිබෙන මේ රට ගොඩගත හැකි යැයි අපි විශ්වාස කරනවා. ඒ සඳහා වන දේශපාලන කැපකිරීම කිරීමට අපි සූදානම්.
………………….
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් අනිවාර්ය ලෙසම අපට නියම කරන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඩොලරය පාවීම සඳහා අත්හරින්න කියන එක. දැන් අත්හැරියහොත් ඩොලරය 260ටවත් යනවා. එයින් අපේ සියලු අත්‍යාවශ්‍ය සේවාවන්හි මිල ඉහළ යනවා. අයිඑම්එෆ් පෙනී සිටින්නේ නිදහස් වෙළඳාමක් වෙනුවෙන්. දැන් අපි ආනයනයට විශාල බැරියර් දමා තිබෙනවා. ඔවුන් අපට ඒවා ඉවත් කිරීමට කියනවා. එම නිසා අපේ ආනයන වියදම් විශාල ලෙස ඉහළයාමට ඉඩ තිබෙනවා. අනෙත් අතට ඔවුන් අපේ රාජ්‍ය මුදල් කළමනාකරණය කරගන්න කියනවා. අයවැය පරතරය අඩු කරගන්න කියනවා. එවිට විදුලිය, ඛනිජතෙල්, ජලසම්පාදනය වැනි සේවාවන්ගේ  මිල ඉහළ යනවා. අපි අයිඑම්එෆ් නොගියොත් අපට තෙල් නැතිවෙනවා, විදුලිය නැතිවෙනවා. අප කළ යුත්තේ කුමක්දැයි හොඳින්ම තීරණය කළ හැක්කේ මහ බැංකුවටයි. එහි ඊට අදාළ දැනුම තිබෙන අය සිටිනවා. ඒ වෙනුවෙන්ම වැටුප් ලබන අය සිටිනවා. ඔවුන් එහිදී ඉදිරිපත් කරන නිවැරදි අදහස් අනුව අයිඑම්එෆ් යනවාද නැද්ද යන්න තීරණය ගත යුතුයි. ඒ නිසා අප ජනප්‍රිය ලෙස එහි යාමට ඉල්ලන්නේ හෝ නොයා යුතුය විරෝධී ස්ථාවරයක හෝ නැහැ. එය හොඳ කිරා මැන බැලීමකින් තීරණය කළ යුතුයි.
……………
විද්වතුන්ට දේශපාලන විඥානයක් තිබිය යුතුයි. ආණ්ඩුවට බලයට පත් කිරීමට උදව් කළ විද්වතුන්ට දේශපාලන විඥානයක් තිබුණේ නැහැ. එසේ බලයට පැමිණියවුන් වාරකන් කාලයට කැස්බෑවුන් ගොඩගහන බව කියනවා. ඇත්ත ගත්තොත් රාජපක්ෂ පාලනයට තිබුණු විවේචනය වන ත්‍රාඩයින්, අරක්කු පැක්ටරිකරුවන්, කුඩු ව්‍යාපාරිකයින්, අපරාධකරුවන් ඉන්න කණ්ඩායමක්ය යන විවේචනය සැඟවීම කිරීම සඳහා ආලේප කරන ලද තීන්ත වන්නේ වියත්මඟයි. දැන් ඒ ආලේපනය වියළී සේදී ගොස් අවසන්. දැන් ආණ්ඩුව කරන්නේ පරණ ටීම් එකම තමයි.
…………..
දැන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් තිබෙනවා. රාජපක්ෂ පවුල් සියලු ආර්ථික, පරිපාලන සැලසුම් ඇතුළු රාජ්‍යය මෙහෙයවීම තමන්ගේ අතට කේන්ද්‍ර කර ගෙන තිබෙනවා. ජනාධිපති, අගමැති, මුදල් අමාත්‍ය රාජපක්ෂවරුන්. සමස්ත බලය කේන්ද්‍ර ගත වන්නේ ඒ තනතුරු මතයි. තවත් අවශේෂ රාපක්ෂවරුන් ලෙස චමල්, නාමල්, ශෂේන්ද්‍ර සිටිනවා. මේක පුවලක් අතට බලය කේන්ද්‍ර ගත වීමක්. බලය ගොඩනැගීම සඳහා විවිධාකාරයෙන් හවුල් වූ කණ්ඩායම් සිටින්නේ එම බල කවයෙන් එළියේ. ඒ පිළිබඳව ඔවුන්ට හිත් රිදවීමක් ඇති. ඒ නිසා ඔවුන් විවිධ මඟවල් තෝරා ගෙන ඇති.
…………..
පළමුව ආණ්ඩුව අර්බුදය කොවිඞ් වසංගතයට හේත්තු කරන්න හැදුවා. සාමාන්‍යයෙන් ශීත කාලයට තෙල් මිල ඉහළයාමක් සිදු වෙනවා. දැන් ආණ්ඩුව රුසියාව හා යුක්රේනය අතර යුද්ධය නිසා අර්බුදයක් ඇති වී තිබෙන බව ආණ්ඩුව කියන්න හදනවා. ඒ වගේම ජිනීවාවලින් අපේ රට වටළන බව කියාවි. දේශප්‍රේමී ආණ්ඩුවක් ඉන්න බව කියාව. එවැනි ආණ්ඩුවලට බටහිරට අකමැති බව කියාවි. මේ ආණ්ඩු පෙරළා දැමීමට බටහිර කුමන්ත්‍රණය කරන බව කියාවි. ඒ කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තෙක් බවට කාදිනල්තුමා පත්වී තිබෙන බව කියාවි. දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩුව පැළඳ ගත්තේ මේ කබාය තමයි. ආණ්ඩුව බලයට ඒමේදී ප්‍රධාන සාධකයක් ලෙස පාස්කු ප්‍රහාරය පාවිච්චි කළා. තොරතුරු ලැබී තිබියෙදී එය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය සහ එම ප්‍රහාරය සැලසුම් කර එල්ල කරන ලද කණ්ඩායම ලෙස කොටස් දෙකක් තිබෙනවා. මේ කණ්ඩායම් දෙකම ඊට වගකිව යුතුයි. දැන් අවුරුදු තුනකට ආසන්න වී තිබියෙදීත් මේ කිසිවෙක් හඳුනාගෙන නැහැ. නඩු පවරන ලද හිටපු ආරක්ෂක ලේකම්වරයා  සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කෙරුණා. එම නිසා මෙම ප්‍රහාරයට අදාළ සාධාරණය ඉටු කර ගැනීමට කාදිනල්තුමාට සාධාරණ හා යුක්තිසහගත අයිතියක් තිබෙනවා. වරදකරු වන්නේ කාදිනල්තුමාට ජිනීවා යන්න තත්වයක් නිර්මාණය කළ පාලකයායි. ජිනීවාවලින් අපට එරෙහිව යෝජනාවක් ආවොත් වගකිව යුත්තේ මේ ආණ්ඩුවයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජිනීවාවලට එවැනි අවස්ථාවක් ලබා දී බටහිර කුමන්ත්‍රණයක් ගැන කියාපෑමටයි. මේ ව්‍යාජ රංගනය දශකයක පමණ කාලයක් දියත් වෙමින් සිටිනවා. මේ රංගනයන්ට නොරැවටෙන ලෙස මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා.         

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments