29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සටන් බිමේ ඉන්නේ ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම වගේ අය නෙවෙයි- ජනතා විමුක්ති පෙරමුණේ...

සටන් බිමේ ඉන්නේ ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම වගේ අය නෙවෙයි- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා


ජනතා අරගලයට මේ වන විට කලාකරුවන්, නීතිඥ මහත්වරුන් ප්‍රමුඛව සමාජයේ සියලුම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතු වී මේ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරනවා. මේ ජනතා ඉල්ලීමට ඇහුම්කන් නොදී ආණ්ඩුව මුරණ්ඩු ලෙස විවිධ උපක්‍රම පාවිච්චි කරමින් තවදුරටත් බලයේ ඉන්න උත්සාහ කරනවා. අනාගත පරපුරට රටක් නැති කරලා අවසාන මොහොතේ හෝ බැහැල යන්න ලැහැස්ති නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේක අතරමග නතර කරන්න පුළුවන් අරගලයක් නොවෙයි කියලා. ආණ්ඩුවට තිබෙන එකම උත්තරය ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන එක විතරයි
හැබැයි විවිධ ආකාරයෙන් අරගලය මොට කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ජාතිවාදය පාවිච්චි කරලා අරගලයේ පෙනුම වෙනස් කරන්න කුලියට වැඩ කරන ජාතිවාදී කණ්ඩායම්, ආගමික කණ්ඩායම්, පාවිච්චි කරනවා. මේ අරගලයේ තිබෙන ඉතාමත් සුන්දර අලංකාරවත් බව වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සඳහාවත් පිරිසක් සොයා ගන්න බැරිව අසාර්ථක වෙන බව අපි දකිනවා. අනික් පැත්තෙන් අගමැතිවරයා කළ කතාව ඇතුළේ ජනතාව බිය වද්දන්න උත්සාහයක් තිබෙනවා. තව පැත්තකින් හති වැටිලා මේ අරගලය නවතී කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අරගලය ගැන එහෙම අවතක්සේරු කරන්න එපා, කියලා අපි ඉතා පැහැදිලිව කියනවා. මේ අරගලය තුළ විවිධ කණ්ඩායම් ඉන්නවා වගේම මේ අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට අවශ්‍ය දැනුම, හැකියාව, අත්දැකීම්, සංවිධාන ශක්තිය තිබෙන ජාතික ජන බලවේගයේ අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය දක්වා අරගලය ගෙන යාමට අධිෂ්ඨානයෙන් හැමදෙනාම ක්‍රියා කරනවා.
අරගල කරන තරුණ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්ති බව ජනාධිපතිවරයා මාධ්‍යයට කියා තිබුණා. අරගලය නොසලකා යන්න, බිය වද්දන්න, අවලාද නගන්න, ජාතිවාදය පටලවන්න, ආදී වශයෙන් අසාර්ථක උත්සාහයන් දරා දැන් ලැහැස්ති වන්නේ සාකච්ඡා කරන්න. අපි අවධාරණය කරන්නේ අරගලයේ යෙදිලා ඉන්න කිසිවෙකුත් සමග ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අරගලයේ ඉල්ලීම ප්‍රසිද්ධියේ කියලා තිබෙන්නේ. ගෝඨා ගෙදර යන්න, ආණ්ඩුව අයින් වෙන්න, හැත්තෑ හතර වසරක සාපය නිමා කරමු, යන බලකිරීම් කරලා තිබෙන්නේ. ඒ නිසා සාකච්ඡා කරනවා කියලා සටන දුර්වල කරන්න, බෙදන්න, කරන උත්සාහය හරියන්නේ නැහැ. මේ සටන් බිමේ ඉන්නේ ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉන්න අය වගේ අය නොවෙයි. මේ සටන් බිමේ ඉන්නේ අවංක, කැපකිරීම් කරන, පෞද්ගලිකව කිසිවක් තමන්ට බලාපොරොත්තු නොවන පිරිසක්. ඒ නිසා තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අයව බිලි බාගන්නවා වගේ වරදාන දීලා බිලි බාගන්න බැහැ. තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමටවත් අවංක නොවන ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, මේ අයත් එක්ක අවංකව සාකච්ඡා කරන්නේ කොහොමද? ඒ නිසා එක්කෝ මේ ආණ්ඩුව අයින් වෙන්න ඕනෑ. නැත්නම් එළවන තුරු පෙරට යන්න ඕනෑ. ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව එළවන තුරු මොනම හේතුවක් නිසාවත් සටන නවත්වන්නේ නැති බව අපි සහතික කරලා කියනවා.

ජනතාව ඉන්නේ ආණ්ඩුවට වඩා ගවු ගණනක් ඉස්සරහින්….
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය
ජනතා මතය මෙහෙයවන්න ආණ්ඩුවට තිබුණු බලය දැන් ගිලිහිලා. ආණ්ඩුවට විරුද්ධව නිර්මාණය වෙමින් තිබෙන ජනතා මතය තවදුරටත් පාලනය කරන්න මේ ආණ්ඩුවට බැහැ. මේ ආණ්ඩුව බලයට පත්වුනෙත්, බලය පවත්වා ගත්තෙත් සුපුරුදු පරිදි ජාතිවාදය, යුද්ධය අවසන් කිරීම, සහ දේශපාලන කුමන්ත්‍රණ කතා කියමින් ඔවුන් බලය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ජනතාව පාලනය කිරීමටත් මේ කතන්දර තුන යොදා ගන්නවා. නමුත් මේ වෙනකොට ඔවුන් කියන කතා සියල්ලම ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මේ රටේ ජනතාව තවදුරටත් ඔවුන්ගේ කතන්දර විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුවෙන් එන වෙන කිසිම කතන්දරයක් බාරගන්න ඔවුන් සූදානම් නැහැ. ජනතාවත් ආණ්ඩුවත් අතර, විශාල පරතරයක් මේ වෙනවිටත් නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුවට එය තේරුම් ගන්න බැරිවීම මේ අර්බුදයේ මුලයි. පරණ විදිහට විවිධ කතන්දර එළියට දාලා බලය තියාගන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා.
මේ මොහොතේ දියත් කර තිබෙන ජනතා අරගලය ආරම්භ වීම, වර්ධන වීම, ඒ ඉල්ලීම් මොනවාද? ඉන්නේ කවුද? වැනි කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුනා නම්, ජනතාව ඉන්න තැන ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන්. දිනෙන් දින වෙනස් වෙමින් දිනෙන් දියුණුවන අරගලයක් තිබෙන්නේ. දිනෙන් දින ශක්තිමත් වන අරගලකරුවන්ගේ දේශපාලනය අධ්‍යයනය කරමින් ව්‍යාප්ත වන්නේ. ජනතාව ඉන්නේ ආණ්ඩුවට වඩා ගවුගණනක් ඉස්සරහින්. ආණ්ඩුව ඉන්නේ එකම තැන පල්වෙන, කුණු වුණු අතීතයක. මේ නොගැලපීම තුළ ආණ්ඩුවට පැවැත්මක් නැහැ. මෙච්චර තදින් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරන්නේ ඒ නිසයි. මේ ආණ්ඩුව අපේ රටටත් ජනතාවටත් තවදුරටත් ගැලපෙන්නේ නැහැ. මේක ඉවර කරන්න දැන් පරක්කු වෙලා තිබෙන්නේ. ඉවර කර ගන්න බැරිවීම පීඩනයට පත්වුණු ජනතාව පාරට බැහැලා ඉන්නේ. ඊයේ (12) කොතරම් පහත් විදිහට ආගම පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සාහ කළාද කියලා අපි දැක්කා. ඔවුන්ගේ කුමන්ත්‍රණය පටන් ගන්නත් ඉස්සෙල්ලා ෆේල්. බලය තවදුරටත් තියා ගන්න අටවන උපක්‍රමත් ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලාම ෆේල්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments