Homeක්‍රීඩා පුවත්සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට “Air Sports Club” නමින් නවීන ක්‍රීඩා හා...

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට “Air Sports Club” නමින් නවීන ක්‍රීඩා හා සුවතා මධ්‍යස්ථානයක් රාජගිරියට…

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව මූලික කරගත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, සීමාසහිත Air Sports International (පුද්ගලික) සමාගම විසින් “Air Sports Club” නමින් නවීන ක්‍රීඩා හා සුවතා මධ්‍යස්ථානයක් 2026 අප්‍රේල් 08 වන දින මහජනතාවට විවෘත කිරීමට නියමිතය.

ඉසුරු හේවාපරාක්‍රම, බුර්හනුදීන් තාසිම් සහ ගනදරන් ජෙයකුමාර් යන අධ්‍යක්ෂවරුන්ගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, ශාරීරික යෝග්‍යතාවය සහ සමාජ සම්බන්ධතා එකට එක් කරන නවමු වේදිකාවක් ලෙස හැඳින්විය හැක. සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වැඩි අවධානයක් යොමු වන වර්තමාන සමයේදී, ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීම් ලබා දීමට මෙය මග පෙන්වයි.

මෙම අති නවීන පරිශ්‍රය තුළ pickleball සහ බැඩ්මින්ටන් සඳහා අධි තත්ත්වයේ පිටි, සාමාජිකයන් සඳහා විවේකාගාරයක්, ආපනශාලාවක්, සහ යෝගා, නර්තන, සුම්බා, පිලාටේ වැනි ක්‍රියාකාරකම් පැවැත්වෙන බහුකාර්ය ස්ටුඩියෝවක් ඇතුළත් වේ. එසේම cold plunge පහසුකම් සහ චිකිත්සාත්මක සුව සේවා සහිත recovery මධ්‍යස්ථානයක්ද මෙහි ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 4කට අධික ආයෝජනයකින් නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති අතර, තරඟ සහ සිදුවීම් ගෝලීය වශයෙන් විකාශනය කළ හැකි තාක්ෂණික පහසුකම්ද සමඟින් සම්පූර්ණ කර ඇත.

Pickleball ක්‍රීඩාව ශ්‍රී ලංකාවට තවමත් නවයකි. කෙසේ වෙතත්, එය ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන ක්‍රීඩාවක් වන අතර, එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත. එම ගෝලීය ප්‍රවණතාවයට ශ්‍රී ලංකාවද එක්වීමට මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් වේ.

“Air Sports Club නිර්මාණය කළේ ක්‍රීඩාව හරහා මිනිසුන් එකට ගෙන ඒම සඳහාය. මෙය හුදු ක්‍රීඩාංගණයක් නොව, සම්බන්ධතා ගොඩනැගීමට සහ සමාජයක් ලෙස එකතු වීමට හැකි අවකාශයක්,” යැයි අධ්‍යක්ෂ ඉසුරු හේවාපරාක්‍රම මහතා පැවසීය.

අධ්‍යක්ෂ බුර්හනුදීන් තාසිම් මහතා පෙන්වා දුන්නේ, “මෙම පරිශ්‍රය සියලු මට්ටම්වල ක්‍රීඩකයන් සඳහා නිර්මාණය කර ඇති අතර, වෘත්තීය මට්ටමේ තරඟ සඳහාත්, සාමාන්‍ය ක්‍රීඩා සඳහාත් සුදුසු පරිසරයක් ලබා දීම අපගේ අරමුණයි,” යනුවෙනි.

මෙම මධ්‍යස්ථානය පෙ.ව. 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘත වන අතර, විවිධ වයස් කාණ්ඩවල සහ පසුබිම්වල පුද්ගලයන් සඳහා නම්‍යශීලී සහ ආකර්ෂණීය අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.

අධ්‍යක්ෂ ගනදරන් ජෙයකුමාර් මහතා සඳහන් කළේ, “2026 මැයි මාසයේදී අපගේ මංගල ‘Moneyball Championship’ තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර, එහි ජයග්‍රාහකයන් සඳහා එම්. එච්. ඕමාර් අනුස්මරණ කුසලානය පිරිනැමෙනු ඇත,” යනුවෙනි.

ආයෝජක අස්ලම් ඔමාර් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බිහි වන්නේ ශාරීරික සහ මානසික සුවය සමඟ සමාජ සම්බන්ධතා එකතු වීමෙන් බවයි. එම අදහස මත “ක්‍රියාකාරී සමාජ ජීවිතයක්” ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය දායක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Air Sports Club යනු නිවස සහ සේවා ස්ථානයෙන් පසුව, මිනිසුන් එකතු වන “තුන්වන අවකාශයක්” ලෙසද හැඳින්විය හැකි අතර, සමාජ සම්බන්ධතා වර්ධනය කිරීමට, විවේක ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සුදුසු පරිසරයක් සපයයි.

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments