29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ පිහිටුවන තේරීම් කාරක සභාව තීරණයක් නොගතහොත් ජනමත විචාරණයක්...

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ පිහිටුවන තේරීම් කාරක සභාව තීරණයක් නොගතහොත් ජනමත විචාරණයක් පවත්වනවා-ජනපති කියයි

මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්,පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර,මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා, දේශපාලන පක්ෂ නීති ගැන අවධානය, මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට, දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වූණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහ

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.
රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා.
ආර්ථිකය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන අපි කතා කර තිබෙනවා. මම ඒ ගැන මෙතන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත් දේශපාලන වැඩපිළිවෙළ ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අද මේ රටේ ජනාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා.
පසුගිය මාර්තු මාසයේ මේ උද්ඝෝෂණ පටන් ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණවලට ජනතාව අවේ නැහැ. ජනතාව වෙනම ඉදිරියට ආවා. අවාසනාවකට මැයි, ජුනි වෙන කොට එක් එක් දේශපාලන සංවිධාන විසින් මේ විරෝධතා ව්‍යාපාරය තමන්ගේ අතට ගත්තා. ඒ සමගම ප්‍රචණ්ඩත්වයත් ආවා. ප්‍රචණ්ඩත්වය සමග රටේ ආණ්ඩු බලය අල්ල ගන්න ක්‍රියා කළා. ඒ නිසා එදා තිබුණු අරගලය කඩා වැටුණා.
තවමත් ජනතාව කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ප්‍රචණ්ඩත්යට කවුරුවත් කැමති නැහැ. මේක අපි පිළිගන්න ඕන. මේ ආකල්පය වෙනස් කරමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ.
පක්ෂ ක්‍රමය නිසා අද පාර්ලිමේන්තුවේ එක එක කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. ජනාධිපති ධූරයට පත්වෙන්න මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒක රහසක් නොවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments