ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ‘විවෘත දිනය’ ඔක්තෝම්බර් 21 ඔබ සැමට විවෘතයි –
ශ්‍රී ලංකාවේ දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 17න් විවෘත හා දුරස්ථ අධ්‍යාපනය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම විදේශීය ප්‍රජාවට ලබාදීමට පිහිටුවා ඇති පළමු හා විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හඳුන්වාදිය හැකිය. මෙසේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස අභ්‍යන්තර (Internel)උපාධි පාඨමාලා පිරිනමන විවෘත විශ්වවිද්‍යාලය අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වේ.
අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාය සුවිශේෂි වන්නේ විවෘත හා දුරස්ථ අධ්‍යාපනය මඟින් ප්‍රතිලාභ රැසක් ශිෂ්‍ය ප්‍රජාවට අත්පත් කරදී ඇති නිසාය. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් ස්ථාපිත වූ විවෘත විශ්වවිද්‍යාලය අධ්‍යාපන අවස්ථා අහිමි වූ ප්‍රජාවට මෙන්ම විවිධ වෘත්තීන් වල නියුතු පුද්ගලයන්ට, වයස් භේදයකින් තොරව අධ්‍යාපන අවස්ථා හිමිකර දී තිබේ.
අවුරුදු 18ට වැඩි කියවීමට හා ලිවීමට හැකියාවක් ඇති ඕනෑම පුද්ගලයකුට විවෘත විශ්වවිද්‍යාලය පිරිනමන අධ්‍යාපන පාඨමාලාවකට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ. කෙසේද යත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට පශ්චාත් උපාධි පාඨමාලා දක්වා හැදෑරිමේ අවස්ථාව විවෘත විශ්වවිද්‍යාලය පුරවැසියන්ට උදාකර ඇති නිසාය. අ.පො.ස.සාමාන්‍ය පෙළ මෙන්ම උසස්පෙළ අසමත් වූවන්ට ප්‍රථමයෙන් සහතිකපත්‍ර හෝ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා අනතුරුව ඩිප්ලෝමා, උපාධි මෙන්ම පශ්චාත් උපාධි හැදෑරීමේ දුර්ලභ මෙන්ම වටිනා අධ්‍යාපන අවස්ථා විවෘත විශ්වවිද්‍යාලය උදාකර දී තිබේ.
උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් නම් තමා කැමති ඕනෑම විෂය ධාරාවක් යටතේ ඇති ප්‍රථම උපාධි පාඨමාලාවකට ලියාපදිංචි වීමේ අවකාශය හිමිවේ. උසස් පෙළට හැදෑරූ විෂය ධාරාවෙන් බැහැරව ඕනෑම විෂය ධාරාවක් යටතේ තම රුචිකත්වය මත අධ්‍යාපන අවස්ථා ප්‍රජාවට උරුම කරදීම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස විවෘත විශ්වවිද්‍යාලයේ සුවිශේෂීත්වයකි.
ඇතැම් විට සහතික පත්‍ර පාඨමාලාවෙන් ආරම්භ කර ආචාර්ය උපාධි දක්වා තම අධ්‍යාපන අවස්ථා පෘථුල ලෙස ව්‍යාප්ත කළ විද්‍යාර්ථයින් වර්තමානය වනවිට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ තනතුරු හොබවයි. රැකියාවල නිරත වූවන්ට තම වෘත්තිය අවශ්‍යතාවය හා රුචිකත්වය මත අධ්‍යයනය පාඨමාලා තෝරා ගතහැක. මේ අනුව ඔබගේ අවශ්‍යතාව අනුව හා අධ්‍යාපන සුදුසුකම් වලට අනුව පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ. මේ නිසා ඔබ උසස් පෙළ අසමත් නම් හෝ අඩුම තරමින් සාමාර්ථයක් ලබාගෙන ඇත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව සහ සහනදායි මිල ක්‍රමයක් යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් ලබාගන්නා අභ්‍යන්තර උපාධියක් පහසුවෙන් විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත හැකිය.
විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමන විවිධ පාඨමාලා පිළිබඳව සලකා බැලීමේ දී විවිධ පීඨයන් විසින් රැකියා වෙළඳපොළ හා විවිධ වෘත්තීන් ඉලක්ක කරගත් අධ්‍යාපන අවස්ථා උදාකර දී තිබේ. ඉංජිනේරු තාක්ෂණ පීඨය, අධ්‍යාපන පීඨය, මානව හා සමාජ විද්‍යා පීඨය, ස්වභාවික විද්‍යා පීඨය, සෙඛ්‍ය විද්‍යා පීඨය, කළමනාකර පීඨය යන පීඨ හයකින් සමන්විත විවෘත විශ්වවිද්‍යාලය විවිධ විෂය ධාරාවන්ගෙන් යුත් අධ්‍යනය පාඨමාලා පිරිනමනු ලබයි.
මෙසේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමන විවිධ පාඨමාලා පිළිබඳව දැනුවත්කමක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමේ අරමුණින් ඔක්තෝම්බර් 21 වන දින උදේ 9.30 සිට හවස 3 දක්වා ‘විවෘත දිනය’ නමින් නාවල විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී වැඩසටහනක් සංවිධානය කර තිබේ. සියලුම දරු දැරියන්ට, දෙමාපියන්ට හා වෘත්තිකයන්ට ඔක්තොම්බර් 21 වන දින මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වන ලෙස අප ගෞරවවයෙන් ආරාධනා කරමු.
එමඟින් ඔබට අප විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන පාඨමාලා පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා සියලුම පීඨයන් වෙත ප්‍රවේශ වීආචාර්යවරුන් හමුවීමේ මහඟු අවස්ථාව හිමිවේ. විවෘත විශ්වවිද්‍යාලය සතු විද්‍යාගාර, පුස්තකාලය, අධ්‍යාපන, තාක්ෂණ හා මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු බොහෝ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ දුර්ලභ අවස්ථාව ද ඔබට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමෙන් උදාකර ගත හැකිය. මෙම විවෘත දින වැඩසටහන සමඟ සම්බන්ධ වී ඔබගේ අනාගත අධ්‍යාපන සිහිනය සැබෑ කරගත හැක.
ආචාර්ය මධුභාෂිණී ගලගෙදර මහත්මිය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.
