29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට ඩිජිටල් නිලධාරින් බඳවා...

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට ඩිජිටල් නිලධාරින් බඳවා ගැනේ.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ආයතන සඳහා ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය ලබාදෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කිරීම අරමුණ බවද ඒ මහතා පෙන්වාදෙයි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධානය කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ඊයේ (03) පෙරවරුවේ පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය. රාජ්‍ය ආයතන 37 ක නිලධාරීන් 60 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 40 දෙනෙකු වෙනුවෙන් මෙහිදී සහතික පත් ප්‍රදානය සිදුවිය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා,

“අද ඉතාම වැදගත් දවසක්. මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ කලක් කතා කළා. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයක පමණ කාලයක් රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පුහුණුව ලබාදී තිබෙනවා. එයින් ලබාදෙන සහතිකය ඉතාම වැදගත්. ජීවිතයේ යම් අයෙකු ලබාගත යුතු සහතිකයක් වෙනවා. ඒ වගේම එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක් වෙනවා. සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ම කතා කළයුතු වෙනවා. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතාකර තිබෙනවා. අපි හදුනාගත යුත්තේ ඉදිරියේ දී තමන්ගේ ආයතනයේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්නයි. සයිබර් අපරාධ ගත්විට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 18 ක් පමණ සිදුවෙනවා. මෙය විශාල මුදලක් වෙනවා. අද සයිබර් අපරාධ විවිධ ආකාරයෙන් සිදුවෙනවා.

බැංකුවකට ගොස් මංකොල්ල කන ආකාරය වෙනස් වී තිබෙනවා. විනාඩි කිහිපයක් ඇතුළත මෙවැනි අපරාධ සිදුවෙනවා. ඒ නිසා දකුණු ආසියාවේ ආර්ථික වර්ධනයක් සමඟ අපිට තිබෙන අභියෝග, බලපෑම් සම්බන්ධයෙන් දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේ දී දත්ත සමඟ කටයුතු කරන විට මෙය ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඉතිහාසයේ පළමු වරට මෙවැනි ආකාරයේ සහතිකයක් නිකුත්කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස මේ කණ්ඩායම සහතික ලබනවා. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ, ආයතනවලින් මේ කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට ලොකු ගමනක් යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් වශයෙන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා.

එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය ලබාදෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කරනවා. 2006 වසරේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවාවක් සිදුකරනවා. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඔවුන් සිදුකරන සේවය අපි අගය කරනවා. අපි ඉදිරියටත් ඒ අයට සහාය ලබාදෙනවා. අපි පසුගිය වසරේ දී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. සියලු පාර්ශවයන් සම්බන්ධ වෙලා එය මාස හයක පමණ කාලයකින් ඉදිරිපත් කළා. ඒ අනුව පසුගිය සතියේ දී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. එහි සයිබර් ආරක්ෂණය, දත්ත ආරක්ෂණය ප්‍රධාන වෙනවා.

පසුගිය වසරේ දී දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා තිබෙනවා. සයිබර් ආරක්ෂණ පනත ඉදිරියේ දී අනුමත කරගන්න අපේක්ෂා කරනවා. අපේ රටේ සයිබර් ආරක්ෂණ කටයුතු එයින් අපේක්ෂා කරනවා. ඒ වගේම අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළයුතු වෙනවා. ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව පිළිබඳව විෂයක් ලෙස හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධර්ම ශ්‍රී කුමාරතුංග, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඇන්ඩෘ සින් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

‘දිනමිණ‘ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර් තෘ මහින්ද අලුත්ගෙදර සහ මාධ්‍ය වේදී රක්ෂණ ශ්‍රියන්ත මහත්වරු සහතික පත් ලැබු අයුරු මෙහි දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments