22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්සිය රංගන දිවියට උපහාර ලබන නීල් අලස් නම් මහා රංඟධරයා...

සිය රංගන දිවියට උපහාර ලබන නීල් අලස් නම් මහා රංඟධරයා…

වේදීකාව , පුංචි තිරය , ගුවන් විදුලිය හා රිදී තිරය එකසේ ජයගෙන , දශක හයකට ආසන්න කාලයක් පුරාවට ප්‍රේක්ෂක මනදොල සපුරාලු ප්‍රවීණ රංගධර නීල් අලස් ආදරණීය කලා කරුවාගේ නිර්මාණ දිවිය ඇගයීමට ලක්කිරීමේ උලෙළක් පැවැත්වීමට සිංහල සංස්කෘති ආයතනය සූදානම්ව සිටින බව එහි සිනමා අනුමණ්ඩල ලේකම් අජන්ත අලහාකෝන් මහතා පවසනවා.ඔහුට අනුව මෙම ඇගයීමේ උළෙල පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 25 වන දින සවස 5.00 ට බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශි ශාලාවේදීයි. මෙම උළෙලට සමගාමිව නිල් අලස් රංගන ශිල්පියා රංගනයෙන් දායකවූ සිනමා පට ත්‍රිත්වයක් නොමිලේ ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන් කටයුතු සූදානම් කර ඇත . ඒ අනුව එදින උදැසන 10.00 මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කල ” සතර පෙර නිමිති ” , සවස 2.30 ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කල ” මුතු මැණිකේ ” සහ සවස 6.30 පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කල ” බිත්ති හතර ” යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

දකුණු ලක ගාල්ල කළුවැල්ල ග්‍රාමයේදි , පීටර් අලස් සහ ක්ලේරා අලස් යුවලට දාව 1948 ජූනි 21 වන දින උපත ලැබූ ඔහු නීල් අලස් යන නම් ලැබීය .දරුවන් පස් දෙනෙකුගෙන් සමන් විතවූ පවුලේ ඔහු දෙවැන්නා විය . නීල් බිළිඳු අවදියේදීම බම්බලපිටිය ෆලවර් රෝඩ් ප්‍රදේශයට සිය දෙමව්පියන් සමගින් පැමිණෙන්නේ සිය පියාගේ ව්‍යාපාර කටයුතු හේතුවෙනි. කෙටි කාලයකින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ඔවුන් කොම්පඤ්ඤවීදියට ස්ථීර පදිංචිය සඳහා පැමිණෙන අතර , නීල් අලස්ගේ ප්‍රථම පාසැල වනුයේ කොම්පඤ්ඤවීදියේ හෝලි රෝසරී කතෝලික මිශ්‍ර පාසැලයි. පසුව සාරිපුත්‍ර මහා විද්‍යාලයට ඇතුලත්ව එහිදී උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.
පාසැල් වියේ සිටම රංගනයට ඇළුම් කල නීල් , දහඅටවන වියේදී සිය මිතුරන් පිරිසක් හා එක්ව ” හැංගි මුත්තං” නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට යෙදෙන අතර , එය ඔහුගේ ප්‍රථම වේදිකා රංගනයද විය. කාලයත් සමගින් ඔහු ප්‍රසිද්ධ වේදිකාවට එක්වන්නේ දයා වයමන්ගේ ” අම්මයි පුතයි ” වේදිකා නාට්‍ය තුලිනි . එම නාට්‍ය නැරඹීමට පැමිණි ප්‍රවීණ නාට්‍යවේදි සුගතපාල ද සිල්වා නීල් ගේ රංගන කුසලතාවය පිළිබඳව පැහැදී ඔහුගේ ” දුන්න දුනුගමුවේ ” නාට්‍ය සඳහා ඔහු සම්භන්ධ කරගත් අතර , ඉන් අනතුරුව දිගින් දිගටම වේදිකා නාට්‍ය රැසකට එක්වන්නට ඔහුට අවස්ථාව හිමිවිය . ඒ අනුව ,හිරු නැති ලොව , ආඬිරැලේ නාඩගම , අංගාරා ගඟ ගලා බසී , කැලණි පාලම , තාරාවෝ ඉගිලෙති , ධවල භීෂණ , වෙස්සන්තර , යෙර්මා , ගජමන් පුවත , අඹුසැමියෝ ,තලමල පිපිලා, මායාදේවි, අන්දරේලා, ස්වර්ණමාලි ඉඩම, දිවැස හෙලනු මැන, ට්‍රෝජන් කාන්තාවෝ, බිංගේ, අවි, ඇතුළු වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයකට ඔහුගේ විශිෂ්ඨ රංගන කෞෂල්‍යය එක් කර ලීමට සමත් විය.
විජය ධර්ම ශ්‍රී ගේ රන් දොරටුව ඒකාංගික ටෙලි නාට්‍ය තුලින් පුංචි තිරයේ දොරටුව විවෘත කරගත් ඔහු , සත්පත්තිනි , දන්ඩේ ලූ ගිනි , දූ දරුවෝ , බුමුතුරුණු ,රංසිරිගේ සංග්‍රාමය, සැඩසුලං, බැද්දේගෙදර ,
ස්වයංවරය( ටෙලි චිත්‍රපටය ) , මරු සමය ( වාර්තා කෙටි චිත්‍රපටය ) ඇතුළුව ටෙලි නිර්මාණ රැසක් සඳහාද ඔහු රංගනයෙන් දායකව ඇත .
ගාමිණි හේවාවිතාරණ අධ්‍යක්ෂණය කල , 1977 වසරෙ තිරගතවූ ” හරි යනකොට ඔහොම තමයි ” චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිනමාවට අවතීර්ණව , සොල්දාදු උන්නෑහෙ , බිත්ති හතර , සතර පෙර නිමිති , මුතු මැණිකේ , රිදී නිම්නය , කැලෑමල් , පාරමිතා , කරදිය වළල්ල , ප්‍රාර්ථනා , හිත හොඳ චන්ඩියා, මධුසමය, සුදු හංසි, මාරුතය, පාලමයට, හිතවතිය , ක්‍රිස්තු චරිතය සහ සහරාවේ සිහිනය ආදි චිත්‍රපට රැසක් සඳහා ද රංගනයෙන් එක්වී ඇති ඔහු ,
මුවන් පැලැස්ස , සඳ මඬල ඇතුළු ගුවන් විදුලි නාට්‍ය රැසක් සඳහා සිය හඬ දායකත්වය දක්වා ඇති අතර , ” සිහින සාප්පුව ” නමින් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය කර වේදිකා ගත කරන ලදි . එකළ ප්‍රකට වූ ” 80 කන්ඩායමේ ” ඔහු ප්‍රකට චරිතයක් විය. අවස්ථා රැසකදී රංගනය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඔහු වාසනාවන්ත විය . මේ වන විට 76 වන වියේ පසුවන ඔහුට නීරෝගි සුවය සහ දීර්ඝායුස ප්‍රාර්ථනා කරමු .

සටහන-
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

ඡායාරූප – දයාන් විතාරණ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments