ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වශයෙන් හිස එසවීම සඳහා මත්පැන් අලෙවි සැල් විවෘත කර තබන කාලවේලාවන් දීර්ඝ කරන ලෙසත් කංසා වගාව නීතිගත කර කංසා අලෙවිය ලොව පුරා සිදු කර විදේශ විනිමය උපයන ලෙසත් පාර්ලිමේන්තුවේදිත් එයින් පිටතත් හඬ නගන සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ මෙම සංවර්ධන යෝජනාත්, ප්‍රකාශත් ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව හෙළා දැකිය යුතුය.
වසර දෙදහස් පන්සියයකට ආසන්න ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාද්වීපය පෙරදිග ධාන්‍යාගාරය ලෙසත් ධර්මද්වීපය ලෙසත් ලොව ප්‍රසිද්ධ වූයේ අප රට තුළ තිබූ දැහැමි ආර්ථිකයත් ජන ජීවිතයත් සමාජගත වැඩපිළිවෙල වූ “වැව-දාගැබ, ගම-පන්සල“ සංකල්පය නිසාය. මෙම පදනම දෙදරවා හරිමින් සිරිලක පෙරදිග ස්කාගාරය කිරීමටත් ධර්මද්වීපය වෙනුවට කංසා දීපය කිරීමටත් සමගි ජන බලවේග මන්ත්‍රීවරිය ඉදරිපත් කරන මෙම යෝජනා විහාරමහා දේවී, සුගලා දේවී, ලීලාවතී දේවී ආදී හෙළදිව කාන්තා වීරවරියන්ගෙන් පැවැත එන මෙරට කාන්තා පරපුරට සිදු කරන නිගාවක් ලෙස සඳහන් කළ යුතුය.
මත් පැන් වෙළඳාම වඩාත් ජනගත කිරීමෙන් සූදුවද අපචාරයද මස් මාංශ අනුභවයද සීඝ්‍රයෙන් වර්ධනය වන අතර බුදු රජාණන් වහන්සේ නොකළ යුතු යැයි දේශනා කළ වෙළඳාම් සියල්ලම මෙරට තුළ වර්ධනය වන බව පෙන්වා දිය යුතුය. මෙරටේ පවතින සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමට මෙරට සියලු රජයන් බැඳී සිටින බව අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ නියමයකි. සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීම යනු තැන තැන බුදු මැදුරු දාගැබ් විවිධ ඉදි කිරීම පින්කම් පෙරහැර තොරණ පැවැත්වීම නොව තථාගතයාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර ජනතාවට ඒ දහම් මගට පිවිසීම තිබෙන මං පෙත් විවර කිරීමය. එවැනි මං පෙත් අහුරා දමන ලබන සමගි ජන බලවේග මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ මෙම අත්තනෝමතික යෝජනා පිළිකුලෙන් යුතුව සියළු දෙනා විසින් හෙළා දැකිය යුතුය.
මෙරට ගොඩ නැගීම සඳහා අසීමිත සම්පත් ප්‍රමාණයක් ඕනෑවට වඩා ලක් දෙරණ සතුය. ඒ නිසාම මෙරට ආක්‍රමණය කිරීමට අතීතයේදීත් වර්තමානයේදීත් විවිධ ජාතීන් හා රටවල් සිහින දකින නමුත් ඔවුන් ඒ සඳහා ගත් සියලු උත්සාහයන් දේශීය ජන බලවේග විසින් සුණු විසුණු කර පරාජයට පත් කළේ තම ජීවිතය පරදුවට තබා සටන් කළ වීරෝධාර ගිහි පැවිදි උතුමන්ගේ මැදිහත් වීමෙනි. එසේ තම අරමුණු ජය ගැනීමට නොහැකි වීම නිසා වර්තමාන බටහිර ගැති දේශපාලන රූකඩ තම අරමුණු ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජනයන් හරහා ජනගත කිරීමට උත්සාහ දරණුයේ ජනතා ඇසට වැලි ගසමින් සංවර්ධනයේ නාමයෙනි.
වර්තමාන රජයේ නායකයන් පසුගිය කාලයේදී මෙරටින් ගව ඝාතනය තුරන් කිරීමට, ගව ඝාතනය නවතන බවට මෙරට බෞද්ධ ජනතාව රවටා මුලා කර මාස ගණනක් ගෙවී යන අතරතුරදී මන්ත්‍රීවරියක් සිදු කරන මෙම කංසා හා මත්පැන් ජනගත කර බලගතු කරන යෝජනාවක් කරළියට ගෙන එන්නේ තිලෝගුරු බුදුපියාණන්ගේ තෙමගුල සමරණ පොහෝ දින උදාවන වෙසක් සමයක වීමත් සිංහලයන්ගේ ජාතික උලෙළ වූ සිංහල හින්දු අවුරුද්ද සමරණ සමයක විමත් පුදුම සහගතය. ඒ සමග මෙම සංකල්පයන්ට විරුද්ධව සිය ජීවිතයම කැප කරමින් සටන් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සැමරුමද යෙදෙන මෙම අප්‍රේල් මාසයේ ජනතාව හමුවේ තබන මෙම ප්‍රකාශයෙන් එතුමන්ටද සිදු කරන අගෞරවයක් බව පෙන්වා දෙමි.
දැනට මෙරට සිදුවන රිය අනතුරු නිසා දිනපතා සිදුවන මරණ ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. ඒ සියලු අනතුරු වලට හේතුව මත් පැන්ය. දෙවනුව මෙරට රෝහල්වල විවිධ රෝගාබාධ වලට ලක්ව සිටින රෝගීන්ගේ රෝග නිධාන වලට බර පතල හේතුව බොහෝ දුරට මත්පැන්ය, නැතිනම් දුම්වැටිය.
අසරණ ගැමියා අතීතයේ සිට ප්‍රයෝජනයට ගත් බුලත්විට සැපීම තහනම් කිරීමට විධි විධාන යොදන සමයක මත්පැන් හා කංසා ජනගත කිරීමට උත්සාහ දැරීම කාගේ කුමන අරමුණක් සඳහාදැයි තෝරා බේරා ගත යුතුව ඇත.
රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී රටේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි යෝජනා කළේ බෞද්ධ නායකයෙකු හා පඬිවරයෙකු වූ දකුණු කොළඹ රාජ්‍ය මන්ත්‍රී ආචාර්ය අධිනීතීඥ ඒ.පී. ද සොයිසා මහතාය. මෙම යෝජනා මැති සබයේදී ප්‍රතික්ෂේප වූ අතර එයින් පසු ඔහු දේශපාලනයේදී ජනතාව අතර කොතරම් පිරිහුනාද යත් කිසිම මැතිවරණයකින් ඔහුට තමා තරඟ කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැති සභාවට පිවිසීමට ජනතාව ඡන්දය නොදුන්හ. එවන් ඉතිහාසයක් මෙරට සමාජ පදනම බිඳ හෙලීමට මෙරට අතීතයේද සිටි ජනතාව ඉඩකඩ සැලසුවේ නැත. සමගි ජන බලවේග මන්ත්‍රීතුමිය මෙම ඉතිහාසය නොදන්න බව එතුමියගේ ප්‍රකාශ වලින් පෙනී යයි.
මෙරටට එන සංචාරකයන්ට දුරාචාරය මත්පැන් සුරාව, සූදුව හා වෙනත් නොපනත්කම් වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ප්‍රචාරය කිරීමෙන් මෙරට වසර දෙදහස් පන්සියයක් තිස්සේ ගොඩ නගාගෙන පැමිණි ථෙරවාදී බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට අත්වන ඉරණම කුමක්දැයි එතුමියගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.
19 වන සියවස අවසානයේ මෙරටට පැමිණි වර්තමාන තායිලන්තයේ සිටි “ප්‍රිස්ඩම්“ නම් සියම් කුමරු මෙරටට පැමිණ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා සංඝ පීතෘවරයෙකු වූ රාජගුරු වස්කඩුවේ සිරි සුභූති මා හිමියන් වෙතින් “ජිනවරවංශ“ නමින් පැවිදි වූ ඉතිහාසයක් අප දේශය සතුය. ඒ ඉතිහාසය මතු කරනවා විනා වර්තමානයේ බෞද්ධ රටක් වන තායිලන්තයේ තිබෙන අකුටයුතු ආර්ථික නොපනත්කම් මෙරටට හඳුන්වාදෙන්නට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරිය ඉදිරිපත් කරන යෝජනා හමුවේ මුණිවතත රකින ඇතැම් දේශපාලකයන් පිළිබඳව අපට ඇත්තේ ප්‍රශ්නයකි, පිළිකුලකි.
දහවල් උපයන ධනය රාත්‍රියේ වියදම් කිරීමට තැන් සකස් කළ යුතුය යන යෝජනාව ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ තවත් යෝජනාවකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ නොකල්හී විදි සංචාරය නොකළ යුතු බවය. ඇය ඒ බුදු වදනට කරන අගෞරවය රැඳී පවතින්නේ දහවල අය කරන දේ රෑ වැය කළ යුතුය යනුවෙනි. සුරාව තුළින් ඇතිවන නුරාව ඇය නොකියයි. ආයුර්වේදය යන ගෞරවණීය නාමය විනාශ කළේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන තුළිනි. අද එය රටපුරා වසංගතයක් බවට පත් වී ඇත. ඉදිරියේදී එතුමියගේ යෝජනා තුළින් ලංකාවේ කොරෝනා, ඩෙංගු රෝග වලට අමතරව විවිධ සමාජ රෝගයන්ගේ රජ දහනක් බවට ලංකාව පත් වෙනු ඇත.
සමගි ජන බලවේග මන්ත්‍රීතුමියගේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව රජයෙත් හෝ විපක්ෂයෙත්ද සමාජ සාර ධර්ම පිළිබඳව සමාජ සංස්කෘතිය තුළ අයිතිකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් මහජන නියෝජිතයින් හා විද්වතුන් කට නොඇර මුව අයාගෙන බලා සිටින්නේ එතුමියගේ යෝජනා ඔවුන් අනුමත කරන නිසාදැයි ප්‍රශ්නයකි. මෙවන් ප්‍රකාශයක් වැරදිලා හෝ එක්සත් ජාතික පක්ෂ නායකයෙකුගේ මුවින් ප්‍රකාශ වී නම් ඒ සඳහා සියලු පක්ෂ හා විවිධ බලවේගයන් පෙරමුණකට ආ යුතු යැයි මරහඬ තබන පිරිස් වර්තමානයේ මහා නිද්‍රාවක වැටී සිටී දැයි ප්‍රශ්ණයකි.
මෙවන් ප්‍රකාශ සුළුකොට තකා ඉවත දැමිය යුතු දැයි විමසිය යුතුය. මෙවන් සමාජ විරෝධී ථෙරවාදී බෞද්ධ දර්ශන විරෝධී ආර්ථික, පිළිවෙත් ද මෙරට අනාගතයන් අපේ අභිවෘද්ධියත් දේශීය සංස්කෘතියත් විනාෂ කිරීමට ඇතමුන් සිදු කරන කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස දනිමු.
මෙම අමනෝඥ ප්‍රකාශ වලින් ජනතාව පාඩම් උගත යුතුය. මේ සියලු නොහොබිනා යෝජනා ඉදිරිපත් කරන අය මැති සබයට එන්නේ ජනතාවගේ ඡන්දයෙනි. ජනතාව ඡන්දපොළේදී ඡන්දය පාවිච්චි කරනුයේ කිසිම විචාරයකින් තොරවය. ඒ නිසා පාර්ලිමේන්තුව සැහැල්ලු කරන නූගතුන් මැති සබයට පිවිසීම සිදු වේ. ඩයනා මන්ත්‍රීතුමිය එක එල්ලේ ඡන්දයක් ජයගෙන මැති සබයට නොපැමිණියද ඇය මැති සබයට පිවිස ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසය. ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරු සකසා ඇත්තේ මැතිවරණ වලට ඉදිරිපත් නොවන නමුත් රට හදන්නට සුදුසු දක්ෂතා ඇති නිර්මාණාත්මක විශේෂ පුද්ගලයන් හා විද්වතුන් වෙනුවෙනි.
නමුත් ඩයනා මන්ත්‍රීතුමිය පවසන්නේ තම ස්වාමිපුරුෂයාට හිමි වූ මන්ත්‍රී තනතුර සඳහා එතුමිය පැමිණි බවය. ඒ අනුව එතුමිය පැමිණ ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙනි. එතුමිය රට ගොඩ නැගීමට යෝජනා කරන මෙම යෝජනාවත් සමගි ජන බල වේගය අනුමත කරනවාදැයි අප නොදනිමු.
නමුත් අප රටේ සියලුම පක්ෂ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් පත් කරන විට මේ රටේ ඉතිහාසයත්, සාර ධර්මත් දැන උගත් අය පත් කර එවනවා නම් එම ලැයිස්තු මන්ත්‍රී ධූරවලට මීට වඩා වටිනාකමක් ලැබෙනු ඇත. අප කුමන තරාතිරමක සිටියත් ස්වභාව ධර්මයට යටත්ය. මෙවන් අදූරදර්ශී යෝජනා වලින් ස්වභාව ධර්මයාද කුපිත වෙනු නොඅනුමානය. අපේ සංස්කෘතියත් සදාචාරයත් ආගම දහමත් අප දේශය තුළ රැකෙන තුරු සියල්ලෝ ආරක්ෂා වනු නියතය. අප එයින් පිට පනින්නේද අප අසරණ වනු ඇත. සමහර නෝනලාට මේවා නොතේරීම ජාතියේ අවාසනාවකි.