21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසතියේ සංවාදරීඩ් ලා සහ ක්‍රිස්ටෝපර් ලා

රීඩ් ලා සහ ක්‍රිස්ටෝපර් ලා

නීතිඥ සංජිව ප්‍රසන්න ෆොන්සේකා

පොතක අස්සන් කර ගෑණියක් ගෙදර කැන්දාගෙන ඒමේ නීතිය අපේ ඇත්තන්ට ඉගැන්නුවේ සුද්දාය. ඊට පෙර සිංහලයන් අතර දීඝ විවාහය, බින්න විවාහය, සමගි විවාහය, කඹුට විවාහය යනා දී වශයෙන් නා නා ප්‍රකාර විවාහ ක්‍රම පැවතුනත් බැන්දා කියා ඔප්පු කරන කඩදාසියක් ඔවුන්ට වුවමනා වූයේ නැත. ‘සිලෝන්’ නම් යටත්විජිතයේ මිනිසුන්ගේ  උපත, විවාහය සහ මරණය ලියාපදිංචි කිරීම අවශ්‍ය යයි සිතූ ඉංග්‍රීසි ආණ්ඩුව ඒ වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කළේ 1867 වසරේ, එනම් හර්කියුලර්ස් රොබින්සන් ආණ්ඩුකාරයාගේ කාලයේදීය.

          විවාහ ලියාපදිංචියෙන් නතර නොවූ ඔවුන් 1883 වසරේදී ලංකා දණ්ඩ නීති සංග්‍රහය නමින් දඬුවම් පොතක් අපට හඳුන්වා දුන්නේ කලින් දැනසිටි මිනීමැරුම, හොරකම, කොල්ලකෑම වැනි වැරදි වලට ‘ද්වි විවාහය’ නමින් අලුත් අපරාධයක් ද  එකතු කරමිනි. මේ වනවිට අප නිදහස ලබා වසර 73 ක් ගෙවී ඇතත් තවම අපේ මහා දඬුවම් පොත වන්නේ වසර 138 ක් පැරණි දණ්ඩ නීති සංග්‍රහයයි. එහි වගන්තියකට අනුව පළමු කසාදය කටු නොගා දෙවන කසාදයට අස්සන් කිරීමෙන් ද්වි විවාහය නම් වරද සිදුකරන්නාට  ලැබෙන උපරිම දඬුවම හත් අවුරුදු සිර අඩස්සියකි.

          ලංකාවේ සාමාන්‍ය විවාහ සහ දික්කසාද ආඥාපනත සේ ම උඩරට විවාහ සහ දික්කසාද පනත අනුව ද  ද්වි විවාහයට ඉඩක් නැත. නමුත් මුස්ලිම් විවාහ නීතිය යටතේ බහුභාර්යා සේවනය සඳහා අවසර ලබාදෙන බැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතයටතේ  විවාහ වන පුරුෂයකු ද්වි විවාහයට වරදකරු කළ නොහැකිය. ‘රීඩ් එදිරිව නීතිපති’ වනාහි ඉස්ලාම් ධර්මයේ පිහිටෙන් ද්වි විවාහ චෝදනාවෙන් ගැලවුනු මිනිසකු පිළිබඳ අපූරු නඩුවකි.

          රෝමානු කතෝලිකයකු වූ රීඩ් 1933 සැප්තැම්බර් මස 18 වන දින එඩ්නා මාග්‍රට් සමග සිය පළමු විවාහය සිදුකරගෙන තිබුණේ සාමාන්‍ය විවාහ සහ දික්කසාද ආඥාපනත ට අනුවය. දරුවන් අට දෙනෙකුද වදමින් වසර 24 යහතින් පවුල් කෑ දෙන්න දෙමහල්ලෝ හිටිහැටියේ පොර කුකුළන් සේ හැසිරෙන්නට පටන්ගත්තේ රීඩ් ගේ අනියම් ප්‍රේම පලහිලව්ව හේතුවෙනි.  1957 වසරේදී සැමියා ගේ නිවසින් පිටවී ගිය එඩ්නා ඔහුට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුවක් පැවරුවාය. ඇගෙන් දික්කසාද වී සිය සුරූපී තරුණ පෙම්වතිය වූ පැන්සී සමග විවාහ වීම රීඩ් ගේ අපේක්ෂාව වුවත් එඩ්නා සිටියේ  ඊට එරෙහිව ‘මියෙම්වා රැකෙම්වා’ කියා සටන් වදින තත්ත්වයකය. ඒ නිසා  කෙසේ හෝ අරමුණ ජයගන්නට සිතූ රීඩ් සහ පැන්සී කළේ 1959 ජුනි 13 වෙනිදා ඉස්ලාම් ආගම වැළඳගෙන එයින් මාසයකට පසුව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ විවාහ වීමයි.එහෙත් රීඩ් ගේ උපක්‍රමය ඔහු සිතූ තරම් පහසු නොවීය. එඩ්නා ගේ පැමිණිල්ල මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවෙන් ඔහු ද්වි විවාහයට වරදකරු වීබරපතළ වැඩ සහිත මාස තුනක සිර දඬුවමකට යටත් කෙරිණි.  එහෙත් නොපසුබට ධෛර්යයෙන් යුතු  කතා නායකයා එම තීන්දුවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත අභියාචනය කළ අතර  එහිදී  බස්නායක අග විනිසුරුතුමා ඔහුගේ ස්ථාවරය පිළිගනිමින් මුස්ලිම් දහම වැළඳගෙන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව විවාහ වීම යන කරුණ මත ඔහු ද්වි විවාහයට වරදකරුවකු නොවන බව තීන්දු කළේය.  නීතිපතිවරයා ඊට එරෙහිව  බ්‍රිතාන්‍යයේ  ප්‍රිවි කවුන්සිලයට ඇපෑලක් ඉදිරිපත් කළත් එය සලකා බැලු ජෝන් අප්ජෝන් විනිසුරු තුමා ශ්‍රෙෂ්ඨාධිකරණය  තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ඉවත දමන ලදී.

          තීක්ෂණ නුවණින් යුතු රීඩ් ට ද්වි විවාහය නම් කඩුල්ල පැන, දිනුම් කණුව වෙත දිව යන්නට වාසනාව ලැබුණත් ඊට දශක තුනකට පසූ දෙවන රීඩ් කෙනෙකු වීමට වෑයම් කළ ක්‍රිස්ටෝපර් ට ඒ වාසනාව ලැබුණේ නැත. ඒ කතාව දැනගන්නට නම් මුල් නඩුව උත්සාරණය (overrule) කළ ‘නතාලි අබේසුන්දර එදිරිව ක්‍රිස්ටෝපර් අබේසුන්දර සහ තවත් අය’ නඩු තීන්දුවකියවිය යුතුය.

          මේ නඩුවේ පසුබිම් කතාව මුල් නඩුවට බොහෝ සෙයින් සමානය. නතාලි සමග විවාහ වී සිටි ක්‍රිස්ටෝපර් එම විවාහය වලංගුව පවතිද්දී කාන්තිකා සමග දෙවන විවාහයක් කරගෙන තිබුණේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුවයි. විවාහයට පෙර මේ යුවතිපතීන් ද  ඉස්ලාම් දහම වැළඳගෙන තිබුණි. ක්‍රිස්ටෝපර් මෙවැනි ක්‍රියාදාමයකට යොමු වී ඇත්තේ ඔහු නතාලිට එරෙහිව පැවරූ දික්කසාද නඩුව ප්‍රතික්ෂේප වීම නිසාය. මෙහිදීද ඔහුට ද්වි විවාහය සම්බන්ධයෙන් චෝදනා ගොනු වූ අතර  මහේස්ත්‍රාත්වරයා ඔහු වැරදිකරු කරමින් මාස 18 ක සිර දඬුවමක් ලබා දි එය  වසර 5 කට අත්හිටවනු ලැබීය. නමුත් රීඩ් නඩුව අනුගමනය කළ මහාධිකරණය ඔහුව චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී. එසේ වුවද  නතාලි වෙනුවෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට කළ අවසාන ඇපෑලේදී ජි.පි.එස්. ද සිල්වා අගවිනිසුරු තුමා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල තීන්දු කළේ  ක්‍රිස්ටෝපර් ඉස්ලාම් ආගමට මාරු වුවද ඔහුට දෙවන විවාහයකට ඇතුල්වීමට තිබෙන අයිතිය පළමු බිරිඳට සාමාන්‍ය විවාහ සහ දික්කසාද ආඥාපනත යටතේ ලැබී තිබෙන වෛවාහික අයිතිවාසිකම් වලින් සීමා වන බවයි. ඒ අනුව ක්‍රිස්ටෝපර් ගේ උපාය වැරදි ගොස් ඔහු ද්වි විවාහයට වැරදිකරු විය.

          අබේසුන්දර නඩුවේ තීන්දුව නොවන්නට අද වනවිට තවත් රීඩ් ලා  ක්‍රිස්ටෝපර් ලා රැසක් සිය අලුත් පෙම්වතියන් ද සමග ඉස්ලාම් ආගමට මාරු වන්නට ඉඩ තිබුණි. එහෙත් මෙහි ඇති උත්ප්‍රාසය නම් අපට විවාහ ලියාපදිංචිය හුරු කළ සහ ද්වි විවාහය වරදක් බව කියා දුන් සුදු මහත්තුරු වර්තමානයේ කසාද නොබැඳ පවුල් කෑමට පුරුදු වී සිටිමය.

                                                         

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments