ඒ මහතා මේ බව සඳහන් කළේ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරු ලෙස කටයුතු කරන රක්ෂණ නියෝජිතයන්ට මෙරට රක්ෂණ සමාගම් සිදු කරනු ලබන වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගියදා (25) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පැමිණිලි කළ අවස්ථාවේදීය.
සාමාජික සාමාජිකාවන් 45,000 කින් සමන්විත තම සංගමයේ රක්ෂණ නියෝජිතයන්ට රක්ෂණ සමාගම් සිදුකරන සිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින් පැමිණිලි කළ අතර ,ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් කර,අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා මෙහිදී කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට උපදෙස් දුන්නේය.විශේෂයෙන් ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා සමාගම් කිහිපයක් ඊ.පි.එෆ්. හා ඊ.ටි.එෆ්. අරමුදලට දායක මුදල් ගෙවන බවත් සමහර රක්ෂණ සමාගම් විවිධ තර්ක ඉදිරිපත් කරමින් ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට ඊ.පි.එෆ්.හා ඊ.ටි.එෆ්. නොගෙවීම බරපතළ සිද්ධියක් මෙන්ම, එය රක්ෂණ නියෝජිතයන්ගේ වෘත්තීය හා කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ද එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ද මෙම නියෝජිතයෝ අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියහ.
එම නිසා රක්ෂණ සමාගම්හි සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ද ඊ.පි.එෆ්.හා ඊ.ටි.එෆ්. සඳහා දායකවීම අනිවාර්ය කිරීමේ නීති සංශෝධනයක් ගෙන එන ලෙස මෙම නියෝජිතයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියහ.
රක්ෂණ අලෙවි නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු අධ්‍යයනය කොට අදාළ සියලු පාර්ශව සමග ද සාකච්ඡා කොට ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
එම වාර්තාව පදනම් කරගනිමින්, අමාත්‍ය මණ්ඬලයේ එකඟතාවය අනුව එකී නීතියේ ඇති හිඩැස් පිරවීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී එම ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට පැවසීය.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.සී.බණ්ඩාර මහතා,ලේකම් ඉසිර චතුරංග,ජ්‍යෙෂ්ඨ උපදේශක චන්දන පලන්සූරිය මහතා ඇතුළු නියෝජිතයෝ රැසක් එක්වූහ.