22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය...

ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තාක්ෂණික වාර්තාව ඉදිරිපත් කරයි.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී පළමුවරට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 110 කින් වාර්තා වන අතර අවධානය යොමු කළ යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය නම් කර ඇත.

අද වන විට ශ්‍රී ලංකාවේද ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු රෝගීන් හඳුනාගෙන ඇත. ඩෙල්ටා ප්‍රභේදය පසුගිය වසරේ අගභාගයේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය වු ලෙසම ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රධාන වශයෙන් පැතිරෙන ප්‍රභේදය බවට පත් වීමේ දැඩි අවදානමක් ඇත.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හෝ අනාගතයේ මතුවිය හැකි නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 12 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පසුගියදා පිහිටුවන ලදී. එම විශේෂඥ කමිටුව සායනික විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වසංගතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, පටක හා රසායන ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විය.

එම විශේෂඥ කමිටුව විසින් සකසන ලද “Facing Omicron and Future New Variants of SARS – CoV-2 virus” වාර්තාව අතිගරු ජනාධිපතිතුමන්ට, සෞඛ්‍ය අමාත්‍යතුමන්ට හා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදීමට නියමිත අතර එම වාර්තාව මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කර සිටිමු.

ඔමික්‍රෝන් හෝ අනාගත කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා මුහුණ දීමට අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ පහක් (5) ඔස්සේ මෙම වාර්තාව සකසා ඇත. නවතම විද්‍යාත්මක දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ, ඇමරිකාවේ CDC ආයතනයේ හා FDA ආයතනයේ දත්ත, යුරෝපා රටවල්, සිංගප්පූරුව, ඊශ්‍රාලය, ඕස්ට්‍රේලියාව ඇතුලු විවිධ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව හා නිර්දේශ ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ලෙස සකසා ඇත. එම වාර්තාවේ නිර්දේශ සාරංශයක් ලෙස මෙසේ දැක්විය හැක.

  1. කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ මිත්‍යාමත පරාජය කිරීම හා කොවිඩ් 3 වන එන්නත් මාත්‍රාව 70% වඩා ජනගහනයකට ලබා දීම.
    ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය පිළිබඳව ඇති අත්දැකීම් සහ කොවිඩ් එන්නත්කරණය ඔස්සේ මරණ සහ සංකුලතා අඩු වන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, විවිධ මිත්‍යාමත සහ එන්නත් විරෝධී ආකල්ප පැතිරවීමෙන් වර්තමාන එන්නත්කරණ ක්‍රියාවලිය යම් පසුබෑමකට ලක්ව ඇති බව නිරීක්ෂණය වේ.
    • දණ්ඩ නීති සංග්‍රහයේ සහ නිරෝධායන පනතේ විධිවිධාන අනුව මිත්‍යාමත පතුරමින් මහජනතාවගේ ජීවිත අවධානමට යොමු කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
    • දිස්ත්‍රික් මට්ටමෙන් එන්නත්කරණය සිදු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සංචිතයක් පිහිටුවීම.
    • ග්‍රාම නිලධාරී මට්ටමෙන් පූර්ණ එන්නත්කරණ ප්‍රගතිය විශ්ලේෂණය ‍.
    • එන්නත්කරණය පිළිබඳ සමාජය තුල පතුරුවා ඇති මිත්‍යාමත අඛණ්ඩව නීරික්ෂණය කර සෞඛ්‍ය අංශය මගින් නිවැරදි කරුණු පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම.
    • 2022 ජනවාරි 29 දින වන විට ශ්‍රී ලංකාව තුල කොවිඩ් එන්නත්කරණය අරඹා වසරක් පිරිමට නියමිත අතර ඒ සඳහා දායක වු සියලු කාර්ය මණ්ඩල ඇගයීම හා කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර එන්නත්කරණ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම.
    • වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා හට තුන්වන මාත්‍රාවද, වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා ජාතික බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ නිර්දේශ අනුව එන්නත්කරණය සිදු කිරීම.
    • පොදු ස්ථාන වලදී පූර්ණ එන්නත්කරණයට භාජනය වු අය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
  2. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හා කොවිඩ් හඳුනා ගැනීමේ ස්වයං පරීක්ෂණ හඳුන්වා දීම.
    • වරාය සහ ගුවන් තොටුපොල හරහා රටට ඇතුලු වන හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සාම්පල වල ජාන පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
    • බාහිර රෝගී අංශ වෙත පැමිණෙන සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ අහඹු නියැදි පරීක්ෂා කිරීම
    • පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රසායනාගාර වල ප්‍රමිතිය සහතික කිරීම.
    • තුන්වන මාත්‍රාවද සහිතව පූර්ණ එන්නත්කරණයට ලක් වූ කොවිඩ් රෝගීන්ගේ සාම්පල ජාන පරීක්ෂණ සඳහා යොමු කිරීම.
  3. කොවිඩ් රෝගීන් නිවසේදී රැක බලා ගන්නා ක්‍රමවේදය ශක්තිමත් කිරීම
    • රෝගින් සංඛ්‍යාව ඉහළ යාමේදී අවධානමක් රහිත රෝගීන් රෝහල් තුලට පැමිණීම නිසා සෞඛ්‍ය මානව සම්පත මෙන්ම රෝහල විඩාවට පත් වීම වළක්වා ගැනීම සඳහා අවධානමක් නොමැති කොවිඩ් රෝගීන් නිවසේදි රැක බලා ගන්නා ක්‍රමවේදය ශක්තිමත් කළ යුතුය.
    • ඒ සඳහා ජාතික කොවිඩ් තොරතුරු පද්ධතිය සහ නිවසේදී රැක බලා ගන්නා රෝගීන්ගේ තොරතුරු පද්ධතිය ඒකාබද්ධ කිරීම.
    • කොවිඩ් රෝගීන් නිවසේදී රැක බලා ගන්නා ක්‍රමවේදය පිළිබඳව සහ ඒ සඳහා රෝගීන් යොමු කරන ක්‍රමවේදය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
  4. සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු හා ‘DReAM’ සංකල්පය පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීම
    • ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් විටින් විට‌ නිකුත් කරන මාර්ගෝපදේශන පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත සියලු මාධ්‍යයන් යොදා ගනිමින් ජනතාව දැනුවත් කළ යුතු අතර ජනතාවට එම තොරතුරු ඕනෑම අවස්ථාවක ලබා ගත හැකි ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය පරිශීලනයට පහසු ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම.
  5. කොවිඩ් පිළිබඳ පර්යේෂණ සහ ඇගයීම් ප්‍රවර්ධනය කිරීම.
    • නව ගෝලීය වසංගතයක් ලෙස පැතිරෙන කොවිඩ් රෝගය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ලොව පුරා විවිධ මට්ටම් වලින් සිදු වේ. රෝග පාලනය සහ සායනික ප්‍රතිකාර වඩා ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ හා ඇගයීම් සිදු කිරීම වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන කාර්යභාරයකි.
    • ක්‍රමානුකූල ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම පර්යේෂණ සිදු කර එම තොරතුරු අවශය පරිදි ජනතාව සහ සෞඛ්‍ය අංශ වෙත ලබා දීම තුලින් රට තුල වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ජනතාවගේ සහ සෞඛ්‍ය අංශයේ සහයෝගය තවදුරටත් ලබා ගත හැක.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments