29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන  මෘදු පිටපත් ලෙස...

පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන  මෘදු පිටපත් ලෙස පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරේ.

අදාළ වාර්තා මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට පියවර.

මෘදු පිටපත්  පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂිත වෙබ් පෝටලයකට (web portal) ඇතුළත් කෙරේ.

වාර්තාවල දෘඩ පිටපත් කිහිපයක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන කාරක සභාවල පරිශීලනය කිරීමට හා පුස්තකාලයේ තැබීමට පියවර.

මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා ඇතුලු ඊට අදාළ අනෙකුත් වාර්තා මෘදු පිටපත් (Soft Copies) මාර්ගයෙන් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

රටේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙන්ම, ඇතිවිය හැකි පාරිසරික ගැටලු ද අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරයන්ගේ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් කථානායකවරයා පැවසීය.

තවද  මුද්‍රිත කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේ දී පවතින දුෂ්කරතාවය, එලෙසම දැනට භාවිතා කරන ආනයනික සංයුක්ත තැටි වෙ‍ෙළඳ‍පොළෙන් සොයාගැනීමට ඇති අපහසුතාවය සහ ඒ සඳහා ඉතා අධික මිලක් දැරීමට සිදුවීම, එලෙසම සංයුක්ත තැටි ප්‍රතිචක්‍රීකරණයේ දී පරිසරයට මුදා හැරීමේ දී ඇතිවන අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ බවද කථානායකවරයා පැවසීය.

මේ අනුව මේ සම්බන්ධ කටයුතු කිරීමට නිලධාරියකු පත්කොට අදාළ දිනවල දී සභාගත කරනු ලබන එකී වාර්තාවල මෘදු පිටපත් (Soft Copies) ගරු මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට (ඊමේල්) මෙහිදී තීරණය වී ඇත.

එලෙසම දෛනිකව සභාගත කරනු ලබන වාර්තා ආදිය ලැප්ටොප් /ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ් හෝ ජංගම දුරකථන මඟින් පරිශීලනය කිරීමට හැකිවනු පිණිස මෘදු පිටපත් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂිත වෙබ් පෝටලයකට (web portal) ඇතුළත් කිරීමට මෙහිදී තීරණය වූ බවද කථානායකවරයා නිවේදනය කළේය. තවද එකී වාර්තාවල දෘඩ පිටපත් කිහිපයක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන කාරක සභාවල පරිශීලනය කිරීමට හා පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා බවද කථානායකවරයා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් දැනුවත් කොට එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට‍ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව ද මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය.

තවද මේ වනවිට සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තාක්ෂණික මෙවලම් භාවිත කරන බැවින් සහ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම මඟින් තිරසර ඊ-රාජ්‍ය සේවයක් ඇතිකිරීමේ කාලෝචිතභාවය පිළිබඳ සළකා බැලූ කාරක සභාව මෙම තීරණය ගත් බවද කථානායකවරයා නිවේදනය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments