21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවත්මන් තත්ත්වය සළකා විසි එකත් සමග අපේ යෝජනා පහ නීීීීතිගත කරන්න. මැතිවරණ...

වත්මන් තත්ත්වය සළකා විසි එකත් සමග අපේ යෝජනා පහ නීීීීතිගත කරන්න. මැතිවරණ කොමිෂන් සභාව

විසි එක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමගම මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා විසිඅටෙන් අපි නම් කර තිබෙන යෝජනා පහ වහාම නීතී ගත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (09) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය. ඒ අනුව සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයත් සමග එය අර්ථවත් වෙන්න නම් මූල්‍ය පාලනය, පූර්ව ඡන්ද විමසීම, තරුණ කාන්තා නියෝජනය, ආචාරධර්ම නීතිගත කිරීම, නැවත කැඳවීම යන යෝජනා පහ කඩිනමින් නීතිගත කරන ලෙස ඉල්ලා සිටිනවා. දැන් තිබෙන ගැටලුවලට යම් විසඳුමක් ලැබෙයි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවා. මෙය වත්මන් අන්තර්කාලීන පාලනය තුල ක්‍රියත්මක කිරීමට බැරිකමක් නැහැ. මේවට විශාල ලෙස මුදල් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවත්වීම සඳහා රුපියල් කෝටි දහසක් පමණ වියදම් වෙනවා. රටේ තිබෙන වාතාවරණය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න නොහැකි බවයි කොමිසමේ මතය. අපිට පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කරන නීතිමය බලය මේවනවිට නැහැ. ඉකුත් 2020 වසරේදී මහා මැතිවරණය කොව්ඩ් 19 වසංගතය තුල පවත්වනවිට රුපියල් මිලියන පන්දහස් හත්සිය විසි අටක් වියදම් වුණා. පළාත් සභා මැතිවරණය පවත්වන්නත් නීතියක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තිබෙන බලතල අනුව වසරකින් කල් දමා තිබෙනවා. ඒ අනුව ලබන මාර්තු මාසය වනවිට එම ආයතනවලට මැතිවරණයක් පවත්වා සභිකයින් පත් කිරීමේ වගකීමක් තිබෙනවා.

ඒ අනුව රටේ වර්තමානයේ උද්ගතවි තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳාගන්න සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුව නිශ්චිත කාලරාමුවක් තුල ප්‍රධාන කාරණා දෙකක් ඉටුකරන්න කියලයි. පළමු කරුණ තමයි අද දැවෙන ප්‍රධාන ප්‍රශ්න වන ගෑස්, ඉන්ධන හා බඩුමිල අධික වීම. මේවට කඩිනමින් විසඳුම් අවශ්‍යයි. ඊට සමගාමිව නීති ප්‍රතිශෝධ රාශියක් අපි ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම මැතිවරණ නීති ප්‍රතිශෝධන සම්බන්ධයෙන් අපි යෝජනා රැසක් ඉදිරිපත් කළා.මේ බරපතල තත්ත්වය එන්න පෙරම මැතිවරණ කොමිසම නිරීක්ෂණය කළා. 2020 දෙසැම්බර් (10) මෙම කොමිෂන් සභාව පත් කළ අවස්ථාවේදීම. ඒ අනුව එම මාසයේ (11) එවකට සිටි අග්‍රාමාත්‍යවරයා හමුවෙලා ඉල්ලා සිටිය මෙම තත්ත්වයන්ගේ බරපතල කම විස්තර කරලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා ඉල්ලා සිටියා. මේ මැතිවරණ නීති ප්‍රතිශෝධනය සඳහා. තේරීම්කාරක සභාවක වැදගත්කම වෙන්නේ ඊට සියලු පක්ෂ නියෝජිතයින් ඇතුළත් වෙනවා. එවිට ඒවාට නිර්දේශයන් ලැබි සමාජයේ වෙනත් සංවිධානවලද අදහස් ඉදිරිපත් වෙලා එම කරුණු පනත් හැටියට නීතිගත කරගන්න පහසුයි. ඒ තේරීම්කාරක සභාව අවසන් අදියරට දැන් පැමිණ තිබෙනවා. ඒ අනුව මේ මාසයේ අවසන්වීමට පෙර එම තේරීම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා. ඒ තේරිම් කාරක සභාවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන යෝජනා විසිඅටක් ඉදිරිපත් කළා. ඉන් පහක් මේ අන්තර් කාලය තුල නීතිගත කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පසු මැතිවරණයකින් පසු අනෙකුත් යෝජනා ඉටුකරන ගන්න පුළුවන්. අද ආණ්ඩුක්‍රම විසිඑක්ව ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙනවා. ඒකට අපි විරුද්ධ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සෑම දෙයක්ම පුළුල් වෙනවා නම් කොමිෂන් සභාව පැත්තේ කැමතියි. නමුත් අපි දකින්නේ ඒක වඩාත් අර්ථවත් , ඵලදායි වෙන්න නම් ඒකත් සමග අපි ඉදිරිපත් කරන මැතිවරණ නීති ප්‍රතිශෝධන ක්‍රියාත්මක විය යුතුයි.

තරුණයින් බරපතල පීඩනයක් තිබෙනවා. ඒ අය සිතනවා අපිට ඡන්දයක් ඉල්ලන්න බැහැ. ගිහින් සිටින අය ඒ අය වැඩකුත් නැහැ. ඒ අය බලාපොරොත්තුවන දේවල් මේ අයගෙන් ඉටුවෙන්නෙත් නැහැ. ඒ අය කියන්නේ පාර්ලිමේන්තුව එපා කියලා. ඒ අය තම නියෝජිත පිරිස තමයි ප්‍රතික්ෂේප කරන්නේ. එහිදි මතුවන ගැටලු තමයි හොඳ නියෝජිතයින් තෝරගන්නේ කෙසේද? තමන් පාර්ලිමේන්තු යැවු පුද්ගලයින් වංචා දූෂණ කරමින් බලය අවභාවිතා කරනවානම් ඒ අය ගැන තීන්දුවක් ගන්න වසර පහක් බලන් ඉන්න වෙනවා. ඊට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැද්ද. එය සැළකිල්ලට ගෙන තමයි. මැතිවරණවලදි ඡන්ද ලක්ෂයෙන් දෙකෙන් තමයි ප්‍රතිඵල වෙනස් වෙන්නේ. ලියාපදිංචි ඡන්ද දායකයින්ට ප්‍රායෝගික හේතුමත ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය ඡන්දය භාවිතා කළාන් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරිපත් කළ යෝජනා විසිඅටෙන් යෝජනා පහක් තෝරාගෙන තිබෙන්නේ. මේ පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කර තිබෙනවා. මහජන සභාව දැනුවත් කරනවා අද සවසට, අද(10) ගෝල්පේස් අරගලයේ නියෝජිතයෝ පිරිසක් මැතිවරණ කොමිසම හමුවෙනවා මේ යෝජනා ගැන දැනුවත් කරන්න.

ඡන්දයක් පවත්වන්න් විශාල ධනස්කන්දයක් වැයවෙනවා. ඒ සඳහා මුදල් වැය කරන්නේ ලොකු ලොකු මුදලාලිලා. මේ මුදල් අරගෙන පාර්ලිමේන්තු යන අය මහජන නියෝජිතයෝ නොවේ අර මුදලේ නියෝජිතයෝ බවට පත්වෙනවා. මන්ත්‍රීවරුන්ගේ ලැදියාව තිබෙන්නේ මුදල් දුන් අය ගැනයි. සමහර අය රුපියල් බිලියන ගණන් වැය කරනවා සමහරුන්ට අත්පත්‍රිකාවක් මුද්‍රණය කර ගන්න මුදල් නැහැ. මේ අසීමිත මුදල් අවශ්‍යතාවය ඡන්දයක් සඳහා පාලනය කිරීම සඳහා යෝජනා පමණක් නොවේ පනත් කෙටුම්පතකුත් සකස් කර තිබෙනවා. එහි අවසන් අදියරට පැමිණ තිබෙනවා. එවිට නිර්නාමි ලෙස අපේක්ෂකයින්ට මුදල් දෙන්න බැහැ. ඒවා විගණනය විය යුතුයි, ප්‍රදර්ශනය විය යුතුයි. ඒ අනුව කව්රු හරි මුදල් දෙනවා නම් ඒ අයගේ නම් ආයතනවල නම් පැහැදිලිව සඳහන් විය යුතුයි. ඡන්ද දිනයේ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන අයට ඊට පෙර හෝ එදින ඡන්දය ලබාදෙන්න විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන්න හැකියි. මහාරෝහලේ, වෙළෙඳ කලාපේ.බහුදින යාත්‍රාවල මුහුදු යන අයට ,ජනමාධ්‍යවේදීන්ට, ඡන්ද නිරීක්ෂකයින්ට අවස්ථාවක් දිය යුතුයි. තරුණයින්ට හා කාන්තාවන්ට නිශ්චිත නියෝජනයක් නැහැ. ඔවුන්ට පාලන බලයට එක්වෙන්න පළාත් පාලන මැතිවරණවලදි 40%ක් ලබාදෙන්න කියලා එක් කොමිසමකින් යෝජනාවක් ලැබුණා. 2012දි මෙය 25% වුණා පසුව තවත් වෙනස් වී කාන්තා හා තරුණ අයිතීන් ගැන කෑගසන අයම තවත් වෙනස් කළා නිසා මේ අයට නියෝජනයක් නැතිවු අතර ඒ නිසා මේ අයගේ නියෝජනයට ස්ථාවරව අවස්ථාවක් ලබාදෙන්න මැතිවරණ කොමිසම යෝජනා කර තිබෙනවා. මැතිවරණ සමයේ ඉදිරිපත් කරන ආචාරධර්ම මැතිවරණ කාලයට පමණක් නොව එය මන්ත්‍රීවරයාගේ ධූර කාලය දක්වාම පැවතිය යුතුයි. එය එම කාලය තුල කඩ කළොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම, ඒ අනුව ජනතා අපේක්ෂා ඉටුනොකර සිටින මන්ත්‍රීවරු යළි කැඳවීමට ජනතාවට තිබෙන අයිතිය තහවුරු කිරීම.

අපි ඉදිරිපත් කර තිබෙන අනෙකුත් යෝජනාවලටත් එකඟත්වයක් තිබෙන බවට ආරංචියක් තිබෙනවා. මෙහි සමහර ඒවා ක්‍රියාත්මක කරන් දීර්ඝ කාලයක් යනවා. එහිදි ජාතික ලැයිස්තුවලින් දෙවන වරට බාහිර පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන්ද නීති ප්‍රතිපාදන සකස් විය යුතුයි.

මෙහිදි කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාද අදහස් දැක්වු අතර අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා ඇතුළු කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ද මේ අවස්ථාවට එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments