2018, 2019 කාලසීමාවට අදාළව රුපියල් මිලියන 3100 ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා විටම ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතීම පිළිබඳව කෝප් කමිටුවේදී අවධානය යොමු විය.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (10) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම ජනක යන්ත්‍ර 50 පිළබඳ තොරතුරු සාකච්ඡා කිරීමේදී කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් ද මේ පිළිබඳ අදහස් දැක්වීම සිදු කළ අතර ඔවුන් පෙන්වා දුනනේ මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතී ඇති බවයි. මේ නිසා මෙම මිලදී ගැනීම් වලදී තත්ත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ මේ සඳහා වියදම් වූ මිල පිළිබඳව ඔවුන් විසින් විමසන ලදි.
මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුනනේ මෙම මිලදීගැනීම්වලදී නිලධාරීන් පරීක්ෂාවක් සිදු කොට ඇති බවත් එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3100 ක් වැයවූ බවත් අද වන විට මෙම ජනක යන්ත්‍ර 50ම ක්‍රියාකාරීව පවතින බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්‍රීවරු සඳහන් කළේ මෙම ජනක යන්ත්‍ර මුල්කාලීනව ක්‍රියාත්මක නොවූ බවත් නවීකරණය කිරීමෙන් පසු ක්‍රියාත්මක වන බවත්ය. ඒ අනුව කුමණ ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින ජනක යන්ත්‍ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ පිළිබඳ වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.
එසේම LTL සමාගම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සතු අයිතිය පිළිබඳව ද මෙම සමාගම විගණනය කරන්නේ කවුරුන්ද යන තීරණය ගැනීමේදී රාජ්‍ය විගණනයෙන් ඉවත්වීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් තිබේද යන්න පිළිබඳවද කෝප් කමිටු සභාපතිවරයා විසින් මෙහිදී විමසන ලදි. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සමාගමේ කොටස් වලින් 63% ලංකා විදුලිබල මණ්ඩලයට හිමි වන බවයි. ඒ අනුව වැඩිම කොටස් ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව තිබියදී තාක්ෂණික කරුණක් මත මෙම ආයතනය රාජ්‍ය විගණනයෙන් ඉවත් කොට ඇති බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කෝප් කමිටුවට ලබාදීමට හෙතෙම නිර්දේශ කළේය. මෙහිදී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සති දෙකක් ඇතුළත මෙය විසඳීමට කටයුතු කරන බව පැවසීය.
තවද ඇඹිලිපිටිය එස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම් වලට එළඹීම පිළිබඳව කෝප් කමිටු සභාපති වරයා ප්‍රශ්න කළේය. පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු විසින්ද විදුලිය මිලදීගැනීමට නව ගිවිසුමක් සකස් කිරීමේදී මිල ගණන් තීරණය කිරීම සිදු වන ආකාරය පිළිබඳව විමසන ලදි. මේ සඳහා නිෂ්චිත පිළිතුරක් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් නොලැබුණ අතර මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.
එසේම දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ 2022 – 2041 වර්ෂය සඳහා සකසා ඇති නව ජනන සැලැස්ම පිළිබඳ තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ 2018 – 2037 වර්ෂ සඳහා සකස් කළ ජනන සැලැසමට අදාළ තොරතුරු බව මෙහිදී සඳහන් විය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ හැකි ඉක්මනින් අනුමතිය ලැබී ඇති නව ජනන සැලැස්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2019ට පෙර පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව පුනර්ජනනීය බලශක්තිය 50% සපුරාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නද නව රජය බලයට පත්වීමත් සමග පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව 70% ක් ලෙස පෙන්වා දුන් බවයි. ඒ අනුව නව ජනන සැලැස්ම සකස් කළ බව ඔවුහු පෙන්වා දන්හ.
මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරිය වෙනස්වීම මත ප්‍රතිපත්ති වෙනස් වුවද ජනන සැලැස්ම වෙනස් නොවී පවත්වාගෙන යාම වැදගත් වන බවයි.
මීට අමතරව ඉන්දියාවේ “අදානි” සමාගම සමග එළඹී ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳවද ඒ සඳහා සිදුකරන ශක්‍යතා අධ්‍යනය පිළිබඳවද, හදිසි බලශක්ති මිලදීගැනීම් පිළිබඳවද, පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා තැන්පතු සඳහා පොලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු පාඨලී චම්පික රණවක, ගරු ඉන්දික අනුරුද්ධ, ගරු සාගර කාරියවසම්, ගරු ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුෆ් හකීම්, ආචාර්ය නාලක ගොඩහේවා, ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ඩී.වී. චානක, නලීන් බණ්චාර, ගරු ප්‍රේම්නාත් සී දොලවත්ත, ගරු මධුර විතානගේ සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.
