තරඟය ජයග්‍රහණය කිරීම නම් කණ්ඩායමේ සියලුදෙනා බියක් නොමැතිව සෙල්ලම් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.
අද (22) ZOOM තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කුසල් ජනිත් පෙරේරා,
“බය නැතුව සෙල්ලම් කරන එක කොහොමත් තියෙන්න ඕනේ. අන්තිම මැච් එකත් දිනන්න බැරිවුණා. මම පළවෙනි දවසේ ඉදලා කිව්වා. පළවෙනි දවසේ කිව්වා කියලා හෙට වෙනස් කරන්න බෑ. දවසින් දවස බය නැතුව සෙල්ලම් කරන්න ගත්තාට පස්සේ අපිට ප්‍රතිඵලය පේන්න ගන්නවා. අපි ගොඩක් පුහුණූකරුවන් එක්ක කතා කරලා තියෙන්නේ. පුහුණුවෙද්දිත් අපි සැලැස්මක් හදාගෙන ඉන්නේ. කොහොමද අපි පුහුණුවෙන දේම තරගේ දී කරන්නේ කියලා. මොකද අපේ වෙනස වෙන්නේ පුහුණුවීම් ගොඩාක් හොඳට කරනවා. ඊට වෙනස් දෙයක් තමයි තරඟේ දී වෙන්නේ. “
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20/20 ක්‍රිකට් තරඟාවලිය හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව, දෙරට අතර පළමු 20/20 තරඟය හෙට කාඩීෆ් හිදි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා විසින් මෙහෙයවන පළමු විස්ස තරඟය මෙය වීම විශේෂත්වයකි.
පුහුණු වීම් අතරතුරදි දණ හිසේ අබාධයකට ලක්වු නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මේ වන විට සුව අතට හැරී ඇති බව වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායම ඔයින් මෝගන් විසින් මෙහෙයවන අතර ක්‍රිස් වෝක්ස් වසර කිහිපයකට පසු එංගලන්ත විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබේ.